Sunday, December 11, 2011

සාරාගේ දරු පෙම


සාරා ගැබිනියක වූයේ අප මේ මහල් නිවාස සංකීර්ණයේ පදිංචියට පැමිණි මුල් දිනවලය. නන්නාඳුනන නොරටකට පය තබා කුටුම්භ සංරක්ෂණයේ බර ඕනෑවටත් වඩා දෙවුර මත දරා සිටි හෙයින් මට අසල්වැසියන්ගේ වංහුං සෙවීමට කාලයක් නොවිණි. එහෙත් නොබෝ දිනකින්ම ඈ මා බිරිඳ හා හාද වී ඇති බව වැටහුණේ මෙතෙක් කලක් පහත මතුමහල් තලයෙන් මහද ගඳකිලි කොට අඛණ්ඩව නැගුණු දුම්වැටි සුවඳ අප මතුමහල් තලයෙන්ද දැනෙන්නට වූ බැවිණි.
මා බිරිඳගෙන් දැනහැඳින ගත් පරිදි සාරාගේ මව පෑලදිග සිඩ්නි කලාපයේ කීර්තිමත් විදුහල්පතිනියකි. සාරා වූ කලී ඇය විසින් පලවා හරිනු ලැබූ ඇගේ පළමු විවාහයේ ස්වාමියාගේ දුවණියයි. සමාගම් කළමණාකාරිනියක ලෙස සේවා සපයද්දී ඇබොරිජින් සම්භවයක් සහිත පෙදරේරුවෙකු හා හාද වුණු ඈ ඔහු හා සහවාසය පිණිස තෝරා ගත්තී අප පහත මාලයයි.
දිනක් අපි ඔවුනට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ඇරයුම් කිරීමට තීරණය කළෙමු. මව් පාර්ශ්වයෙන් ලිබරල් කිතුණුවෙකු වූ මා බිරිඳ අසල්වැසියනට ප්‍රේම කළ යුතු බවද, එසේ කළ යුත්තේ කෙසේදැයි යන්න මැනවින් දැන සිටියාය. අප මහල් නිවාස සංකීර්ණයේ සම මහලේ යාබද නිවසේ හුදෙකලාව වෙසෙන පාරම්පරික ඕස්ට්‍රේලියානුවන් වූ තරුණ ගැහැනු ළමුන් දෙදෙනාද භෝජන සංග්‍රහයට එක් කර ගැනීමට මා කළ යෝජනාව ඈ ශූර ලෙස මහහැර ගියේ එබැවිනි.
සාරා ‍හා පෝල් සමග එදින ගෙවුණේ කුතුහලය සපිරි රාත්‍රී හෝරා කිහිපයකි. මධු විත කෙරෙහි ලොබ නොබැඳි දුලබ ඔසී තරුණයෙකු වූ පෝල් සිටියේ පියෙකු වීම පිළිබඳ මඬනා ලද ආහ්ලාදයකිනි. දැඩි කංසා ලෝලියෙකු වූ තම මවගෙන් තමන්ට නොලැබුණු දරු සෙනෙහසක් මුදා හරින්නට වරමක් ලැබෙන තුරු තෙරපාගත් ගත් හදවතක් දරා සිටි ඔහුගේ එකම පැතුම වූයේ සති අන්තයේ වුලොංගොං වෙරළ තීරයේ ගල් පරයක් මතට වී ඔහු හා මාළු බෑමට පුත් රුවනක් ලැබේවා යන්නය. අව්ව වැස්ස ආදී ස්වභාව ධර්මයේ වෙනස්වීම් කරණකොට ගෙන සේවයෙන් බැහැරව සිටීමට හේතුවක් සම්පාදනය කර ගන්නා පෝල් සතියකට දිනයක් හෝ දෙකක් නෙපියන් නදියේ හෝ වුලොංගොං වෙරළ තීරයේ මාළු බෑමට යන බව සාරා අප හා පැවසුවේ නෝක්කාඩුවක ස්වරූපයකිනි. දරුවා ලැබුණු පසු ඔවුන් විවාපත් වීමට අපේක්ෂා කරන බවද, ඒ සඳහා නොවැරදීම අපට ආරාධනා කරන බවද සමුගෙන යෑමට මත්තෙන් පෝල් පුන පුනා අප හා කීවේය.
කාලය නික්ම ගියේය. මා බිරිඳ වරින් වර ඔවුන් හා සබඳතා පැවැත්වූ බව දැනගන්නට ලැබුණු මුත් මට ඒ සඳහා කාලවේලාවක් නොතිබිණි. නිවසින් බැහැරව යද්දී මුහුණට හමුවුවහොත් නගන මන්දස්මිතයකට හෝ, පහත මතුමහල් තලයෙන් නැගෙන දුම්වැටි සුවඳට හෝ පමණක් අපේ ඇසුර සීමා වී පැවතුණි.
දුම්වැටි සුවඳ හා මුසු වූ කිරි සුවඳක් සමග ඇස හැපුණු සුදු සුදු නැපි, පාතමාලයට පැටියෙකු වැඩ ඇති බව අපට ඉඟි කළේ රණවීර කිවිඳුන්ගේ කවියක් සිහිගන්වමිනි. කල් යල් බලා අපි පාතමාලයට ගොඩවැදුනෙමු. පෝල් පෙනෙන්නට නොසිටියේය. සාරා සිටියේ අලුත උපන් දරුවාට බෝතලයකින් කිරි පොවමිනි.
කෝ පෝල්
මම ඇසුවෙමි.
මං එයාට යන්න කිව්වා. එයා හිටියත් රස්සාව කරනවට වඩා කරන්නෙ මාළු බාන්න යන එකනේ. මාත් රස්සාවෙන් අස් වුණා. කසාද බැඳින්නෙ නැතුව ළමයි හම්බවෙන අම්මලට මෙහෙ ආණ්ඩුවෙන් හොඳට සලකනවා. දරුවෙක් ලැබුණම ගෙවන ඩොලර් පන්දාහට අමතරව සතියට හොඳ ගානක් හම්බවෙනවා. ගෙදර කුලියෙනුත් බාගයක් ගෙවනවා. තව තව පහසුකම් ගොඩක් ලැබෙනවා. ඒක ඉතින් දරුවටත් හොඳයිනෙ. ඉතින් මං පෝල්ට කිව්වා කසාද බඳින්න වෙන කෙනෙක් හොයාගන්න කියලා. එයා ඊයේ ගෙදරින් ගියා.”
සාරා ගණනකට නැතුවම කීවාය.
© තිළිණ රුවන් මලලසේකර
11.12.2011
සිඩ්නි නුවරදීය.

No comments:

Post a Comment