Thursday, November 27, 2014

පිල්, ඔබට දීර්ඝායු!

මා මේ සටහන ලියන මොහොත වන විටත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක පිලිප් හියුස් සිඩ්නි නුවර ශාන්ත වින්සන්ට් ආරෝග්‍යශාලාවේ සයනයක් මත සිහිසුන්ව ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටියි. පුරා දින දෙකක් තිස්සේ මයිකල් ක්ලාක්, ඩේවිඩ් වෝනර්, බ්‍රැඩ් හැඩින් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ශාන්ත වින්සන්ට් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දොරටුව අබියස දිවා රෑ නොතකා හියුස් පිළිබඳ සිත් සැනහෙන අන්දමේ පුවත් කණ වැකෙන තුරු කල්ගෙවන අයුරු මේ දිනවල රූපවාහිනී ප්‍රවෘත්ති සේවාවන්හි වරින් වර දර්ශනය වෙයි.

ඕස්ට්‍රේලියාවේ ෂෙෆීල්ඩ් කුසලාන පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ දකුණු ඕස්ට්‍රේලියාව හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අතර ඉකුත් අඟහරුවාදා පැවති තරගයේදී ෂෝන් ඇබට්ගේ බවුන්සර් පන්දුවක් හියුස් පැළඳ සිටි ආරක්ෂිත හිස් ආවරණය මගහරිමින් ඔහුගේ ශ්‍රවණේන්ද්‍රියට මදක් ඔබ්බෙන් හිසෙහි පසුපසට වන්නට ගැටුණේ, හේ තණතිල්ල මත සිහිසුන්ව ඇද වැටුනේය. මැෂින් තුවක්කුවකින් විසිවන මූනිස්සමක ක්‍රියාකාරීත්වයට සමාන වූ පැයකට කිලෝමීටර 135 ක වේගයකින් ඇදුණු, ඇබට් යැවූ අවුන්ස හයක් පමණ බරැති ලෙදර් පන්දුව හියුස්ගේ හිස් කබල බිඳ දමා මොළයට රුධිරය රැගෙන යන ප්‍රධාන නාලය පුපුරුවා හළෙන්, ක්ෂණයකින් ඔහුගේ හිස් කබලත් මොළයත් අතර රුධිර තටාකයක් නිමැවුණි. නිව් සවුත් වේල්ස් ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය ජෝන් ඕර්චඩ් ඔහුට තණතිල්ල මතදීම මුවට මුව තබා කෘත්‍රිම ස්වසනය ලබා දුණි. ඒ පස්වරු 2.23ටය. පස්වරු 2.29ට ඔහු හදිසි ගිලන්රථයක් විමසා දුරකථන ඇමතුමක් දුන් නමුත් එය පමා වන බව පෙනුණෙන් පස්වරු 2.37ට ගිලන් රථ සේවයට තවත් දුරකථන ඇමතුමක් දුන්නේය. පස්වරු 2.44ට පළමු ගිලන් රථයද, පස්වරු 2.50ට තවත් ගිලන් රථ දෙකක්ද, පස්වරු 3.05 ගිලනුන් ප්‍රවාහන හෙලිකොප්ටරයක්ද සිඩ්නි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයට ළඟා විණ. අවශ්‍ය ප්‍රථමාධාර හා අඛණ්ඩ කෘතිම ස්වසනය ලබා දෙමින් පස්වරු 3.30 වන විට හියුස්ව රෝහල වෙත රැගෙන විත් තිබුණි. සවස 4.15 වන විට හියුස්ගේ මොළයේ පිරී තිබුණි රුධිරය ඉවත් කිරීමේ හදිසි ශල්‍යකර්මය ඇරඹිණි. ශල්‍යකර්මය නිම වී දින දෙකක් ඉක්ම ගොස් තිබුණද හියුස් තවමත් සිටින්නේ සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙනි.

විසිපස් වියැති පිල් හියුස් හෙවත් පිලිප් ජොයෙල් හියුස් තාක්ෂණයෙන් පිරිපුන් ආරම්භක පිතිකරුවෙකි. ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය නිරහංකාර චරිතයකි. ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 25කට හා එක් දින තරග 26කට ක්‍රීඩා කර ඇති මේ හැඩකාර පිතිකරුවාට  මෑත කාලයේදී  වරින් වර කණ්ඩායමෙන් ඉවතට යන්නට සිදු වීම අවාසනාවකි. තවත් සතියකින් ඇරඹෙන ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ඔහු යළිත් කණ්ඩායමට එක් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළහ. ඒ පිටකොන්දේ හා පාදයේ ආබාධයකට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක්ට ආදේශකයක් ලෙසය. එහෙත් දැන් එය සිහිනයක්ම පමණක් වනු ඇත.

හියුස් මුහුණ පෑ මේ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ඒ වන විට පැවැත්වෙමින් තිබූ සියලුම ක්‍රිකට් තරග අත්හිටවූයේ, තමන් ක්‍රීඩා කිරීමට තරම් මානසික තත්ත්වයකින් නොසිටින බවට ඕස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන් කළ ඉල්ලීම සලකා බලාය. හියුස් සිහිසුන් කළ මිසයිල පන්දුව යැවූ ඇබට් ඇතුළු එදින තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ගේ දැඩි මානසික ආතතිය සමනය කිරීමට වහා මනෝ විද්‍යා උපදේශන සේවාවක්ද ක්‍රියාත්මක විණ. ෆේස්බුක්, ට්විටර් ඇතුළු සියලුම සමාජ ජාල වෙබ් අඩවි හියුස්ට සුවය පතමින්ද, ඇබට් ගේ මානසික ආතතිය දුරුවේවායි පතමින්ද, පළ වූ පණිවුඩවලින් පිරී ඉතිරී ගියේය. ඉකුත් දෙදින පටන් ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය සිය ප්‍රමුඛ පුවත ලෙස වාර්තා කරමින් සිටින්නේද, හියුස්ගේ රෝගී තත්ත්වයයි. මේ අතර ගිලන් රථයක් ඉල්ලා වෛද්‍ය ඕර්චඩ් දුන් පළමු දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වීමට පමා වීම පිළිබඳව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සුව ඇමතිනිය, ගිලන් රථ සේවා ප්‍රධානියාගෙන් නිදහසට කරුණු විමසීමට යන බවද දැන ගන්නට ඇත. පිල් හියුස් ඕස්ට්‍රේලියානු ජන සමාජය තුළත් ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළත් ඇති කළ කම්පනය මෙබඳුය.

හියුස් මුහුණ පෑ අනතුරත් සමග ක්‍රිකට් සංස්කෘතිය තුළ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව කතිකාවතක් ආරම්භ වී ඇති සෙයකි. උරහිසට ඉහළින් යැවෙන පන්දු නිපන්දු යැයි නම් කර නිදහස් පහරක් දිය යුතු යැයි යන්න එවැන්නකි. සියලුම වයස් කාණ්ඩවල, සියලුම මට්ටමේ ක්‍රිකට් තරග සඳහා ආරක්ෂිත හිස් ආවරණ අනිවාර්ය කළ යුතුයැයි යන්න තවත් එවැනි අදහසකි. මේ අනතුරින් පසුව නිවේදනයක් නිකුත් කළ හියුස් පැළඳ සිටි ආරක්ෂිත හිස් වැසුම නිපදවූ සමාගම කියා සිටියේ හිසෙහි සියලුම සංවේදී කොටස් ආවරණය වන පරිදි ආරක්ෂිත හිස් වැසුමක් නිපදවීම කෙරෙහි තමන් අවධානය යොමු කරන බවයි. කෙසේ වෙතත් අප පාසල් යන අවදියේ කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ ක්‍රිකට් ක්‍රීඩක මලික් අලස් මියගියේ පන්දු රකිමින් සිටියදී පන්දුවක් හිසේ වැදීමෙනි. එබැවින් බවුන්සර් පන්දු හා ආරක්ෂිත හිස්වැසුම් මතම පමණක් එල්බගෙන මෙවැනි අනතුරකට පසුවදන් සැපයීම නිෂ්ඵලය. සැබවින්ම මෙය ක්‍රිකට් පිටියේ ඉතා විරල, අවාසනාවන්ත සිදුවීමකි. විශ්ලේෂකයින්ට අනුව ක්‍රිකට් පිටියේ මෙවැනි අනතුරක් සිදුවීමේ සම්භාවිතාව මිලියන 10 කට එකකි.

එහෙත් අවාසනාවකට මෙන් මලික් අලස් මෙන්ම පිලිප් ජොයෙල් හියුස් ද ක්‍රිකට් පිටියේ සිටියේ වැරදි වේලාවේ, වැරදි අන්තයේය!

පිල් ඔබට දීර්ඝායු!

© තිළිණ රුවන් මලලසේකර
2014 නොවැම්බර් විසි හත් වැනිදා

සිඩ්නි නුවරදීය

No comments:

Post a Comment