Thursday, December 8, 2011

ගිම්හාන සීතල


මේ දක්ෂිණාර්ධගෝලයට ගිම්හාන ඍතුව එළඹුණා පමණි. ඉකුත් වසරවලදී මෙන් සෙල්සියස් අංශක හතළිහ ඉක්මවූ උෂ්ණාධික දිනයන් තවමත් අත් වි‍‍‍‍‍‍‍‍ඳින්නට නොලැබුණෙන් ගතට දැනෙන්නේ මඳ අස්වැසිල්ලකි. එහෙත් සිඩ්නි නුවර මේ පසු කරමින් සිටින්නේ පසුගිය දහසය වසර පුරාවට ගෙවන ශීතලම ගිම්හානයයි.
උණුසුම් ඇඳ පොරෝණා පෙට්ටගම්වල පැලපදියම් කර ගිම්හානයට සූදානම් වූ බැවින් ඇතැම් රාත්‍රියන් ගෙවන්නේ උහුලාගත නොහැකි සීතලක් සමගිනි. මැදියම් රැය ගෙවෙන්නටත් පෙර අප යහන මැදට පැනගන්නා සිඟිති දියණිය මාත් බිරිඳත් අතර ඉදිවුණු තාවකාලික මායිම් වැටක් මෙන් වැතිරී හිඳියි. මේ ‍ශීතල ගිම්හානයේ මා බිරිඳත් මාත් අතර ස්පර්ශේන්ද්‍රියයන්ගෙන් සිදු කරන්නට අපේක්ෂා කළ කිසියම් සන්නිවේදනයන් වෙත්ද, මා දියණිය ඒවාට ‘ගෝඨාගේ දුරකථන සංනිවේදන අවුල් කරනා අධි තාක්ෂණික උපාංගයක්’ මෙන් බාධා පමුණුවයි.
අප විවාපත් වී දස වසරක් ඉක්මගොස් ඇත. මට මොණිකා රුවන්පතිරණ කිවිඳියගේ ‘විසි වසරක ශේෂ පත්‍රය’ සිහි වෙයි. මම සයනය මත හිඳම මගේ ජංගම පරිගණකය බැණවූයෙමි. ගූගල් වෙබ්කරුවන් විසින් මා හට පරිත්‍යාග කරන්නට යෙදුණු ‘පිකාසා’ සේයාරූ ගබඩාවට වැද අතීත මතකයන් ඇවිස්සුවෙමි.
අදින් පසළොස් වසරකට පෙර මාත් බිරිඳත් (සමාවන්න, එවකට මගේ දයාබර සවුමිය = පෙම්වතිය), තවත් අප වැනිම වූ පෙම්වත් සමාගමයක් සීතල නුවරඑළියේ ග්‍රෙගරි වැව අසබඩ හා හග්ගල උද්‍යානයේ කළ සුන්දර සංචාරයක සේයාරූ මා දෑස මත පතිත වෙයි. ඒවායේ අප සියල්ලෝම අපගේ සවුමියන් එකිනෙකා වැළඳ බදා සිටින්නේ සංසාරයේ ආත්ම සිය ගණනකට වුවද වෙන් කළ නොහැකි ලෙස යැයි මට සිතේ. එහෙත් අප සැබවින්ම එසේ වෙන් කළ නොහැකි සේ බැඳී සිටියාහුද? සිටිම්ද?
එදා අප හා හුන් රුවන් අද අප අතර නැත. මව්පියන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ, තමන් වෙළී හුන් අපාර වූ ප්‍රේමයේ නාමයෙන් විවාපත් වූ රුවන් හා දිලූ ගොඩනගා තිබුණේ අඬදබරවලින් පිරුණු කුටුම්භයකි. ග්‍රෙගරි වැව් තාවුල්ල දිගේ ඇවිද යමින් තමන් හා දෙඩූ පෙම්බස් අතීත මතකයක් පමණක්ම වී ඇති බව පසුකලෙක දිලූ මා බිරිඳ හා පවසා තිබුණා මතකය. දිනක් දිලූ හා දබර වී, මිත්‍ර සමාගමයක මදිරා මතින් මන්මත් ව සිටි හේ ඉස්කූටර් තුරඟා මතින්ම නොඑනා ගමන් ගියේය. හුදෙකලා වූ දිලූ, අවුරුද්දෙන් දිගු කලක් හරි හමන් හිරු එළියක් නොවැටෙන මූසල ලන්ඩන් නුවර සීතලට තුරුළුව වෙසෙන බව මට දැනගන්නට ලැබුණි.
රුවිඳු හා පින්නිගේ වෘත්තාන්තය ‍ට්‍රැජි කොමඩියක්ද, නැතහොත් කොමි ට්‍රැජඩියක්දැයි මට හරිහැටි නොතේරේ. රුවිඳුගේ පියා නිවසට පැමිණි විට ශබ්ද නගා කිවිසුම් යැවීම පින්නි නොරිස්සීම ආදී වූ බරපතල කාරණා හේතුකොටගෙන ඒ විවාහය දෙදරා ගියේය. වරෙක උසාවියේ දික්කසාදය උදෙසා නඩු කියමින්ද, ඒ හා සමගාමීව සංචාරක නිකේතනයක සයනයක් මත සතියකට වරක් රති රමණයේ යෙදෙමින්ද ඔවුහු විවාහ ජීවිතයේ බැඳීම් අතර පවත්නා සංකීර්ණතා මෙන්ම සංකූලතා ද නිහඬවම අපට පසක් කළහ. අද ඔවුහු ඕස්ට්‍රේලියාවේ එකිනෙකට සැතපුම් දහස් ගණනක් ඈත දෙනුවරක වෙසෙති. එක් නුවරක ගත කිළිපොලන සීතලය. අනිත් නුවර ගිනියම් වූ සැඩ හිරු රැසින් ගහණය. ඒ දෙනුවර යළිත් එක් නුවරක් කරනට මාත් බිරිඳත් දැරූ වෑයම ඵල දැරුවේ නැත.
චංචලා හා භානුකගේ ප්‍රේම වෘත්තාන්තයේ ආරම්භය මිශ්‍ර පාසලේ පහේ පන්තිය තෙක් ඈතට දිවෙයි. සරසවියේදී කෙතරම් පෞරුෂයන්ගෙන් හෙබි කඩවසම් තරුණයන් මුණගැසුණද චංචලා, රැඩිකල් දේශලපාලනයක් කළ, අපිළිවෙල, දුම් කෝච්චියක් වූ තම පාසල් ප්‍රේමය අත් නොහළාය. සංගීතයට ලොල් වූ භානුක වරක් මා හා පැවසුවේ ‘ලයන් බීර’ වෙළඳ දැන්‍වීමේ ‘නදී ගංගා තරණයේ’ ගීතය ගැඹුරු හඬින් ගායනා කළ ගායකයා මෙන් තමාටද තම උගුරේ ස්වර තන්තු ඉරා දමන්නට උවමනා බවයි. ඔහු ඒ සඳහා ‘එස්ට්කසි’ නම් වූ මත්ද්‍රව්‍යයේ පිහිට පැතුයේ, සීතල කන්ද උඩරට පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයක උමතු නේවාසික‍යෙකු ලෙසින් තම විවාහය කෙළවර කර ගත්තේය.
මම සිඟිති දියණිය මැවූ සීමා මායිමෙන් ඔබ්බට නෙත් යොමා අනූ දෙස බලමි. ඇය, මැදියම් රැය ආසන්නය තෙක් මා ගෙවන වැඩමුරයන් පිළිබඳව හෝ දරුවන්ගේ කන්කරච්චල් පිළිබඳ මැසිවිලි නොනගන්නී, එස්කිමෝරුවෙක් සේ කිසිදු හැලහොල්මනක් නැතිව නිදයි. මට මහත් කම්පාවක් උපනි. මම මායිම් වැටට උඩින් එබිකම් කර, අදින් පසළොස් වසරකට පෙර සීතල හග්ගල උද්‍යානයේ සුන්දර ලියගෙයක්හි වැද, වලා නල පහසින් පිබිදුණු කොළඹිළු වනයක් ලෙසින් ඇය ප්‍රබෝධ කළාක් මෙන්, ඇගේ ගිම්හාන සීතලෙන් රත් වුණු කොපුල සිපගතිමි. මෙපමණ කලක් එසේ කළ යුතු යැයි නොසිතීම පිළිබඳව මම කම්පා වෙමි.
© තිළිණ රුවන් මලලසේකර
08.12.2011
සිඩ්නි නුවරදීය.