Tuesday, January 10, 2012

පශ්චාද් උපාධිය


අප මෙල්බර්න් නුවර මොනෑෂ් සරසවිය ඉදිරියෙන් දිවෙන මල් කනත්ත පාරේ නිවසක වෙසෙන සමයේ අප නිවසට යාබද නිවසේ විසූ ඇන්ඩ්‍රියා, මොනෑෂ් සරසවියේම පශ්චාද් උපාධි අපේක්ෂිකාවක වූවාය. එකම සරසවියේ, එකම අධ්‍යයනාංශයේ සිසුවියන් වූ බැවින් ඇයත්, මා බිරිඳත් අතර මල් වැටට උඩින් විරිත්තා ගොඩනැගෙන අසල්වැසි මිතුදමකට එහා ගිය සබඳකමක් ගොඩනැගීමට ගත වූයේ ඉතාමත් කෙටි කාලයකි. ඇතැම් සැන්දෑවක අනාරාධිතවම අපේ නිවසට ගොඩවන ඇය, ඔස්ට්‍රේලියාවේ සරසවි අධ්‍යාපනයේ ස්වරූපය, ශාස්ත්‍රීය පර්යේෂණයන් සඳහා පවතින ඉඩ ප්‍රස්ථා, අධ්‍යයන ‍ක්ෂේත්‍රය හා බැඳුණු රැකියා ඉඩ ප්‍රස්ථා ආදිය පිළිබඳව අප හා සංවාදයේ යෙදුණේ මහත් අභිරුචියෙනි.

ඇන්ඩ්‍රියා පැවසූ පරිදි දැන් ඈ ඇගේ ශාස්ත්‍රීය නිබන්ධය සම්පාදනය කරමින් සිටින්නේ ඇගේ දෙවන උපදේශකවරයා සමගිනි. අධ්‍යයනාංශය මගින් ඇයට ලබා දුන් පළමු උපදේශකවරයා ඈ විසින් නෙරපා හරිනු ලැබුවේ ස්වකීය පර්යේෂණ කාර්යය සඳහා ඔහුගෙන් ලැබෙන සහයෝගය මඳ බවට සරසවියට පැමිණිලි කිරීමෙන් අනතුරුවය. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු සරසවියක පශ්චාද් උපාධි අපේක්ෂකයෙකුගේ උපදේශකවරයෙකුට තම ශිෂ්‍යයාගේ උපදේශක ධූරයෙන් ඉවත්වීම දුෂ්කර කටයුත්තක් වුවත්, ශිෂ්‍යයාට ඉතා පහසුවෙන් තම උපදේශකවරයා ඉවත් කිරීමේ හැකියාව පවතින බව ඇය අප හා පැවසුවේ මෙහි පවතින ශිෂ්‍ය කේන්ද්‍රීය ලිබරල් අධ්‍යාපන රටාව පිළිබඳවද අපට ඉඟි කරමිනි. ඉනික්බිති ඇය හා බැඳුණු පීටර් නම් ඇගේ දෙවන උපදේශකධූරන්ධර මහාචාර්යවරයා පිළිබඳව ඈ සඳහන් කළේ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමෙනි.

‘පීටර් ගොඩක් හොඳ උපදේශකවරයෙක්. එයා එංගලන්තකාරයෙක් නිසාමද කොහෙද ශේක්ෂ්පියර් පිස්සෙක්. හැබැයි ශේක්ෂ්පියර් ගැන හැදෑරීම නිසාම ‍ලැබුණු ශාස්ත්‍රීය ශික්ෂණයක් තියෙන කෙනෙක්. එයා මං ලියන හැම අකුරක්ම කියවනවා. හැම වාක්‍යයක්ම හදනවා. අලුතින් කියවන්න පොත් වට්ටෝරුවක් දෙනවා. මට කලින් එයා ඒවා කියවල ඉවර කරල මං අහන හැම ප්‍රශ්නෙකටම නිරවුල්ව උත්තර දෙනවා. දවසක් මං ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ පත්‍රිකාවක් ඉදිරිපත් කරපු වෙලාවක කොහෙදෝ වෙන අධ්‍යයනාංශයක ඉඳල ආපු මහාචාර්යවරයෙක් ප්‍රශ්න අහල මාව අමාරුවේ දාන්න හදපු වෙලාවෙ පීටර් පැනල මාව බේරගත්තා. ඒ වගේ කෙනෙක් එක්ක පර්යේෂණයක් කරන්න ලැබුණු එකම පෙර පිනක්.’
ඇන්ඩ්‍රියාගේ ඒ කතාවට සවන් දෙන කල්හි මට ලංකාවේ මා ශිල්ප සෑදූ සරසවියේදී විඳි අත්දැකීමක් සිහියට නැගුණේ නිරායාසයෙනි.

සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක පශ්චාද් උපාධියක් හදාරන අපේක්ෂකයෙකු ස්වකීය පර්යේෂණය සිදු කරන අතර තුරදී තම පර්යේෂණ විෂය ක්ෂේත්‍රය හා සබැඳුණු මාතෘකා ඔස්සේ සම්මන්ත්‍රණ පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් කිරීම කළ යුතු වෙයි. පශ්චාද් උපාධි අපේක්ෂකයාට ස්වකීය පර්යේෂණ නිබන්ධය විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ හැකි වන්නේ මෙසේ ඉදිරිපත් කරන පර්යේෂණ පත්‍රිකා සඳහා පරීක්ෂණ මණ්ඩලයේ අනුමැතිය හිමි වුවහොත් පමණි. දැන් මා කියන්නට යන කතාවේ කතා නායකයා විශ්‍රාම වයසට ආසන්නව සිටි රජයේ දෙපාර්තමේන්තුවක විධායක ශ්‍රේණියේ නිලධාරී මහතෙකි. අප කුඩා කල අපේ තාත්තාට තිබුණු පන්නයේ බකල් යෙදූ කන්තෝරු බෑගයක්ද අත දරාගෙන ඔහු එදින අප සරසවියට පැමිණ සිටියේ පෙර කී වර්ගයේ සම්මන්ත්‍රණ පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටය. ඔහු අප අධ්‍යයනාංශයේ පශ්චාද් උපාධි අපේක්ෂකයෙකු වූ බැවින් ඔහුගේ සම්මන්ත්‍රණ පත්‍රිකාවට සවන්දීමටත්, ප්‍රශ්න ඇසීමටත් ආධුනික කථිකාචාර්යවරුන් වූ අපටද අවස්ථාව ලැබුණි.

සුපුරුදු පරිදි ඔහුගේ ඉදිරිපත් කිරීමෙන් ඉක්බිති ප්‍රශ්න ඇසීමේ හා අදහස් දැක්වීමේ වාරය එළඹිණි. අප කවුරුත් පුදුමයට පත් කරවමින් පළමුව නැගී සිටියේ ඔහුගේම උපදේශකවරයා ලෙස කටයුතු කරන මහාචාර්යවරයාය. ඔහුගේ ඉදිරිපත් කිරීම අඩු ලුහුඬුකම් රාශියක් සහිත වූවක් බව පැවසූ මහාචාර්යවරයා, අඩු පාඩු සකස් කර නැවත එය ඉදිරිපත් කිරීමට වෙනත් දිනයක් ලබා ගන්නා ලෙස දන්වා, සැසිය අවසන් කර නැගිට ගියේ අන් කිසිවකුටත් අදහස් දැක්වීමට ඉඩක් ඉතිරි නොකරමිනි. සැවොම විසිර ගිය කල්හි ඔහු සමීපයට ගිය මම සිදුවූයේ කුමක්දැයි විචාලෙමි.

‘පුතා මං දැන් මේ විශ්ව විද්‍යාලෙ, මේ උපදේශකතුමත් එක්ක විසි එක් අවුරුද්දක් ති‍ස්සෙ මේ උපාධිය කරනවා. මගේ උපාධි නිබන්ධය ඉදිරිපත් කරන්න කලින් මේ සම්මන්ත්‍රණ පත්‍රිකා ටික පාස් කරගන්න ඕන. ඔයාලගෙ මහාචාර්යතුමා මට ඒක කරගන්න දෙන්නෙ නැහැ. හැමදාම මං ලියන ඒවයෙ අඩුපාඩු තියන බව කියනව මිසක් ඒව මගහරවාගන්න හැටි ගැන කියල දෙන්නෙ නැහැ. මම ලියනවා. එයා කපනවා. මං ලබන අවුරුද්දෙ පැන්ෂන් යන්න ඉන්නෙ. ඊට කලින් මේක ඉවර කර ගන්න ලැබෙන එකක් නැහැ. අඩුගානෙ මැරෙන්න ඉස්සෙල්ල හරි ඉවරයක් කර ගත්තොත් ලොකු දෙයක්.’

මම විපිළිසර වීමි.

ඔහු ඇන්ඩ්‍රියා වූයේ නම් හෝ ශාස්ත්‍ර ගවේශනය අතින් දියුණු සංස්කෘතියක් ඇති දේශයක පර්යේෂණ කාර්යයේ නිරත වූයේ වී නම් හෝ අප හිතවත් උපදේශක මහාචාර්යවරයා ඔහු අතින් නෙරපෙන්නේ ඊට විසි වසරකට කලිනි.

© තිළිණ රුවන් මලලසේකර
10.01.2012
සිඩ්නි නුවරදීය.

Wednesday, January 4, 2012

පත්‍ර සමාගමය


උදෑසන අවදි වූ සැණින්, මා සතු ජංගම පරිගණකය බණවා දවසේ පුවත්පත් හා පුවත් වෙබ් අඩවි සිසාරා යෑම ‍මා නොවැරදීම සිදු කරන්නකි. ‘සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්’ හි සිට ‘එළකිරි ඩොට් කොම්’ දක්වා තහනම් කළ, නොකළ සියලු අඩවි එවිට අඟල් පහළොවේ පැතලි විද්‍යුත් තිරය ඔස්සේ මාගේ දෘශ්‍ය පථයට හසුවෙයි.

කුඩා කල පටන්ම පුවත්පත් කියවීමටත්, පුවත්පත්වලට ලිවීමටත් මා හුරු කරන ලද්දේ අපේ තාත්තා විසිනි. තමා කුඩා අවදියේදී නිවසේ සිට පාසලට ඇති සැතපුම් කිහිපය පා ගමනින් ගොස් ඉතිරි කර ගත් මුදලින් ‘ජනතා’ පත්තරය මිලදී ගත් හැටිත්, එයට කෙටිකතා ලියූ හැටිත්, එකී කෙටිකතා පුවත්පතෙහි පළ වී තිබෙනු දැක පහන් සංවේගය උපදවාගත් හැටිත් එකල තාත්තා අප හා පැවසුවේ ආස්වාදනීය අතීතාවර්ජනයක් පරිද්දෙනි. කෙතරම් ආරාධනා ලැබුණත් තමා නියැලුණු සෞඛ්‍ය සේවාවෙන් බැහැරව පූර්ණකාලීන පුවත්පත් කලාවේදියෙකු වීමට තාත්තා කැමති වූයේ නැත. එහෙත් සෑම දිනකම සේවය නිමවී නිවසට පැමිණෙන තාත්තා මධ්‍යම රාත්‍රිය වනතෙක් නිදිවර්ජිතව ලේඛනයේ නියැලයි. යළිත් පසුදින ‍අලුයම හතරට පමණ අවදිව එහිම නියැලෙයි. අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග සඳහා සූදානම් වන වකවානුවලවත් මම එතරම් නිදිවර්ජිතව වන පොත් නොකළ හෙයින් එකල තාත්තා මා දෙස බැලුවේ උපහාසයෙනි.

දැන් ලංකාදීප පත්‍රය ප්‍රකාශයට පත් කරන විජය පුවත්පත් සමාගම ආරම්භ කෙරුණේ අසූව දශකයේ මුල් භාගයේදීය. එකල ලේක්හවුසිය හැරදා විජය පුවත්පත් සමාගම ආරම්භ කිරීමට පැමිණි බොහෝ පුවත්පත් කලාවේදීන් තාත්තාගේ මිතුරන් වූ බැවින් එතැන් පටන් බොහෝ කාලයක් යනතුරු තාත්තා එහි පුවත්පත් සඳහා ලිපි ලියුවේය. මගේ පළමු පුවත්පත් ලිපිය පළ වූයේද විජය පුවත්පතේය. එකල පාසල් නිවාඩු කාලයේ තාත්තාත් සමග ගොස් විජය කර්තෘ මණ්ඩලයට වී කාලය ගත කිරීම මගේ පුරුද්දක් විය. ඒ වන විට මගේ වයස අවුරුදු පහක් පමණ වන්නට ඇත. පියල් උදය සමරවීර ‘මල් මාමා’ හා ‘කැලේ කතාව’ සිතුවම් කරන ආකාරය දෙස බලාසිටීම මහත් ආශ්වාදයක් ගෙන දෙන්නක් විය. බ්‍රෝමයිඩ් කපා අලවා පිටු සකසන ආකාරය දෙස බලා සිටීමද මා ප්‍රිය කළ තවත් අංගයකි. දිනක් විජය පුවත්පතේ පිටු සැකසීමේදී කපා ඉවත ලන රචනා එකතු කර ගත් මම, ඒවා ඉවත ලන බ්‍රිස්ටල් බෝඩ් කැබලි කිහිපයක අලවා අලුත් ළමා පුවත්පතක පිටු සැලසුම් කළෙමි. විජය පුවත්පතට අමතරව එකල ‘මිහිර’, ‘රංකැටි’, ‘සූකිරි’ ආදී නම්වලින් යුතු තවත් ළමා පුවත්පත් කිහිපයක්ම තිබූ හෙයින් මගේ පුවත්පතට ‘රටඉඳි’ යැයි නම් තැබීමට මම තීරණය කළෙමි. දහසක් වැඩ රාජකාරි මධ්‍යයේ පියල් උදය සමරවීර මාමා එහි ‘හෙඩ් පීසය’ ඇඳ දීමට තරම් කාරුණික විය. පසු දින යළිත් විජය කාර්යාලයට ගොඩවන විට එකල විජය ප්‍රධාන කර්තෘවරයා වූ අකාලයේ ඝාතනය කරන ලද කිත්සිරි සමරනායකයන් සැමටම ඇසෙන සේ ‘ඔන්න රටඉඳි කර්තෘතුමා එනවා’ යැයි පැවසූ අයුරු මට අද මෙන් මතකය.

1994 චන්ද්‍රිකා ජනපති වූ අලුත ලංකාවේ පුවත්පත් කලාවේ මහගෙදර වන ලේක්හවුසියට නව මුහුණුවරක් දුන්නේ ඒ වන විට ලේක්හවුසියෙන් ඉවත්ව ගොස් සිටි ප්‍රගතිශීලී පුවත්පත්කලාවේදීන් විශාල පිරිසකට යළි එහි දොරටු විවර කරවමිනි. මහාචාර්ය සරච්චන්ද්‍රයන් හා දැනටත් අප අතර වෙසෙන ජ්‍යේෂ්ඨතම මාධ්‍යවේදී ඩී.එ් කාරියකරවන උපදේශකවරුන් ලෙස ද, අජිත් සමරනායකයන් ‍සන්ඩේ ඔබ්සර්වර් කර්තෘ ලෙසද, නිමල් හොරණ සිළුමිණ කර්තෘ ලෙසද, සරත් කුරේ දිනමිණ කර්තෘ ලෙසද, චන්ද්‍රගුප්ත වීරවර්ධන ඡායාරූප කර්තෘ ලෙසද, තිලකරත්න කුරුවිටබණ්ඩාර සරසවිය කර්තෘ ලෙසද, පර්සි ජයමාන්න නවයුගය කර්තෘ ලෙසද අලුතෙන් පත්ව ආ අය අතර වූහ. ලේක්හවුස් සභාපති ධූරය කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු වූ ලයනල් ප්‍රනාන්දු හෙබවූ අතර කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා වූයේ ලංකාදීපයේ සිට පැමිණි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් හා යහපත් මිනිසෙක් වූ ලක්ෂ්මන් ජයවර්ධනය. දේශපාලන සබඳතා මත ආධුනික මාධ්‍යවේදීන් බඳවාගැනීමේ සම්ප්‍රදායට තිත තැබූ ලක්ෂ්මන් ජයවර්ධන, ඩී.එෆ් කාරියකරවනයන් හා එක්ව තරග විභාගයක් මගින් ආධුනික මාධ්‍යවේදීන් පහළොස් දෙනෙකු බඳවා ගැනීමට තීරණය කළ බව තාත්තා මාර්ගයෙන් දැන ගත්  මම  ඒ සඳහා අයදුම් පත්‍රයක් යොමු කළෙමි. මට මාගේ බිරිඳ පළමු වරට මුණගැසුනේ ඒ තරග විභාගයේදීය. අප දෙදෙනාම ඉන් සමත් වූ අතර මම එහි පළමුවැනියා වීමි. පසුකලෙක මගේ බිරිඳ වූ මේ යුවතිය දිනා ගැනීමට ලේක්හවුසියේ අප කිහිපදෙනෙකු අතර වූ තරගයෙන්ද,  සටනක් දී පළමුවැනියා වීමට මට හැකි විණ.

වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස මට පළමු පත්වීම ලැබුණේ නවයුගය කර්තෘ මණ්ඩලයටය. ඒ වන විට නවයුගය නියෝජ්‍ය කර්තෘ පදවිය දැරූ සමන්ත හේරත් විශ්වවිද්‍යාල කථිකාචාර්ය තනතුරක් ලැබ නික්ම ගියෙන් මඳ කලකින්ම මම උප කතුවරයෙකු දක්වා උසස් වීමක් ලැබ නවයුග‍ය පුවත්පතේ කවි පිටුවත්, කෙටිකතා පිටුවත් සංස්කරණය කිරීමේ භාග්‍යය ලදිමි. එකල ද මා රටඉඳි පුවත්පතේ කතුකම දරන කාලයේදී මෙන් පිටු සැකසුම සිදුවූයේ බ්‍රෝමයිඩ් කඩදාසියේ මුද්‍රිත ලිපි කපා පුවත්පතේ පිටුවක ප්‍රමාණයට සකස් කර ගත් ඝන කඩදාසියක ඇලවීමෙනි. සාමාන්‍යයෙන් උපකතුවරයෙකු අතින්ද, සෝදු පත් අංශයෙන්ද පරීක්ෂාවට භාජනය වන මුත් මුද්‍රණයට යැවීමට පෙර එලෙස සකසන පිටුවල අන්තර්ගතයෙහි අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ දෝස තිබේදැයි යළි පරීක්ෂා කිරීම අපගේ සිරිත විය. එවැනි දෝෂයක් හසු වුවහොත් අප කරනුයේ පසුගිය සතියේ පරණ පිටුවකින් අවශ්‍ය අකුරු කපා අලවා නණලළ හා වියරණ දෝස නිදොස් කිරීමය. ඇතැම් සතියක පුවත්පතේ පිටු විසිහතරම නැවත කියවා දෝස නිදොස් කිරීමේ වගකීම මා උර මත පැටවිණි. මෙය මහත් වෙහෙස කර කටයුත්තක් වුවත් එවකට නවයුගය කර්තෘවරයාගේත්, ප්‍රධාන උපකතුවර චන්ද්‍රසේන කිරිවත්තුඩුව හෙවත් කිරි අංකල්ගේත් කර්තෘ මණ්ඩලයේ සිටි අප සැමගේත් පරම පැතුම වූයේ සකලංගයන්ගෙන්ම පරිපූර්ණ වූ පුවත්පතක් මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීමය.

නවයුගය පුවත්පතට මා ලියූ පළමු ලිපිය පිටු දහසයක් පමණ දිගු විය. මට මතක හැටියට එය එවකට ‍ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් ලියවුණකි. ලිපිය කියවා බැලූ කතුවර ජයමාන්නයන් එහි ඇති අනවශ්‍ය යැයි හැ‍ෙඟන කොටස් කපා ලිපිය කෙටි කරන්නැයි පැවසුවේ පුවත්පතක ඇති ඉඩ හසර පිළිබඳව මට පාඩමක්ද කියා දෙමිනි. ලිපිය නැවත කියවූ මම එය පිටු දහයකට කෙටි කර නැවත ඔහු අත තැබීමි. යළිත් එය කියවූ ඔහු එහි ඇති අවශ්‍ය කොටස්ද කපා දමා සකස් කර පසුදින යළි රැගෙන එන ලෙස පැවසුවෙන් මම අන්දමන්ද වීමි. සවස නිවසට පැමිණි මම මට වූ ඇබැද්දිය තාත්තාට සැලකිරීමෙන් ඉක්බිති, අපි දෙදෙනා එකතුව එය පිටු හයකට සීමා කිරීමට සමත් වීමු. පසුදින සංස්කරණය කරන ලද ලිපිය දුටු කතුතුමා මා අමතා මෙසේ පැවසීය.

‘පත්තරයක පළ කරන්න ලියන ලිපියක අනවශ්‍ය කොටසුයි, අවශ්‍ය කොටසුයි කපල අයින් කරන්න ඕන. එතකොට තමයි අත්‍යවශ්‍ය කොටස් විතරක් ඉතුරු වෙන්නේ!’

පත්තර කෙරුවාවේදී මෙන් නොව බ්ලොග් කෙරුවාවේදී ඉඩහසර පිළිබඳව එතරම් ගැටලුවක් පැන නොනගිනමුත්, අදටත් යමක් ලියන වාරයක් වාරයක් පාසා කතුවර ජයමාන්නයන්ගේ එවදන් මා දෙසවන රාව ප්‍රතිරාව නංවයි.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වූ විට මා දොස්තරවරයෙකු හෝ ඉංජිනේරුවරයෙකු වනු දැකීම අපේ තාත්තාගේ පැතුම විය. කලා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට මා තුළ වූ අභිලාෂය‍ට අකමැත්තෙන් හෝ අවසර දීමට තාත්තා ගත් තීරණය පිළිබඳව එකල මා තුළ වූයේ නිම්හිම් නැති සතුටක් වුවද, ඒ පිළිබඳව අද මට ඇත්තේ කිසියම් වූ උකටලී හැඟීමකි. කෙසේ වෙතදු මා පුවත්පත්කලාවේදියෙකු වීම පිළිබඳව තාත්තා අසතුටට පත් ව සිටි බවක් එවක මට නොහැඟුණි. සරසවි වරම් ලැබ පූර්ණකාලීන පත්‍රකලා ජීවිතයට ආයුබෝවන් කී‍ කල්හිද, සරසවියේ ශාස්ත්‍ර ගවේශනයෙන් ඉක්බිති යළිදු පුවත්පත් කලාවේදියෙකු ලෙස වෘත්තීය ජීවිතය අරඹන ලද කල්හිද, විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධූරයක් ලැබ පත්‍රකලා ජීවිතයට නැවතත් සමුදුන් කල්හිද, එකී උභය වෘත්තීන්ගෙන්ම සමුගෙන විදෙස් ගත වීමට තීරණය කල කල්හිද, කිසිවිටෙකත් මා තරම් අවදානම් දරන්නෙක් නොවන තාත්තා මුනිවරයෙකු සේ නිහඬව සිටියේය.

කුඩා කල පටන් මා දක්ෂතා දැක්වූ ක්ෂේත්‍රයක නොරැඳීම පිළිබඳ කම්පාවක් පමණක් අද ඔහු තුළ තිබෙන බව මම හඟිමි.

© තිළිණ රුවන් මලලසේකර
04.01.2012
සිඩ්නි නුවරදීය.

Thursday, December 29, 2011

චණ්ඩියා


පහළ බාලාංශයේ අකුරු කරනා සමයේ මා තරම් දඟකාරයෙකු මුළු පාසලේම නොවූ බව එසමයෙහි ප්‍රාථමික අංශයේ මුල් ගුරුතුමා අපේ අම්මා සමග පවසනු මට යන්තම් මතකය. පහළ බාලාංශයේදී පමණක් නොව ඉහළ බාලාංශය පසු කර පළමුවැනි පන්තිය කරා යනතෙක්ම මම ප්‍රාථමික අංශයේ ‘චණ්ඩියා’ වීමි. එකල පාසල පැවැත්වූ සෑම දිනකම අඛණ්ඩව පන්ති භාර ගුරුතුමියගෙන් දඬුවම් ලැබූ එකම ශිෂ්‍යයාද මම වීමි. එකී වාර්තාව තමා විශ්‍රාම යනතුරුම කිසිවෙකුටත් බිඳ හෙළීමට නොහැකි වූ බව පහළ බාලාංශයේ මට අකුරු කළ නාලිනී ගුරු මව මෑතකදී අහම්බෙන් හමු වූ කලෙක මා හා පැවසුවේ සිනහසෙමිනි. 

එකල අපගේ පාසල් විවේක කාලය මිනිත්තු පහළොවකට පමණක් සීමා විය. විවේක කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරන කල්හි හැමදාමත් පන්දුවට පහර දුන්නේ මා නායකත්වය දැරූ පිලයි. මම එහි ආරම්භක පිතිකරුවාද වීමි. ප්‍රතිවාදී පිල කාසියේ වාසිය දිනූ දිනයක් විණිද, එදිනද ඔවුහු නොපැකිලව පන්දුවට පහර දීමේ වාරය අප පිලට පැවරීමට තරම් ත්‍යාගශීලී වූහ. ඇතැම් දිනවල මම ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරන අතරතුරම තරග තීරකවරයාගේ භූමිකාවද රඟපෑවෙමි. මා දැවී ගියේද නැද්ද යන්න තීරණය කිරීමේ අවසන් අභිමතානුසාරී බලය තිබුණේ ද මා අතය. එම බලයට අභියෝග කළ කිසිවෙකු විනිද හේ මා පයට තණතිල්ල මෙන් පෑගී පොඩි වී ගියේය.

එකල ‍අපේ අම්මාද ඉගැන්වීම කළේ මා උගත් පාසලේමය. පාසල ඇරුණු කල මා රැගෙන යන්නට එන ඇයට නාලනී ගුරුතුමිය පමණක් නොව, මා නිසා හිරිහැරයට ලක් වූ ළමෝද, ඔවුන්ගේ දෙමාපියෝද ගතු කියන්නට පුරුදුව සිටියහ. නිවසට යන තෙක්ම තමන්ට මා නිසා විඳින්නට සිදු වී ඇති අවමන් පිළිබඳව මා හට දෙස් දෙවොල් තබමින් යන අම්මා, සවසට වැඩ ඇරී නිවසට එන තාත්තාටද මාගේ නොපනත්කම් ගැන ආඩපාලි කියන්නට අමතක නොකළෙන් ඒ සෑම දිනකම තාත්‍තාගේ වේවැල් කසායේ රස ද නොඅඩුවම විඳගන්නට මට අවකාශ ලැබුණි. 

එහෙත් ඒ කිසිවක් මගේ දඟකාරකම්වලට තිත තැබීමට සමත් වූයේ නැත. මගෙන් පහර කන හෝ අඩත්තේට්ටම්වලට ලක් වන මගේ පන්තියේ සිසුන් ඒවා විඳදරාගෙන සිටිනතාක්, මම බාහිරින් පැමිණි මෙකී තර්ජන අබිමුව ඊජිප්තුවේ මුබාරක් මෙන්ද, ලිබියාවේ ගඩාි මෙන්ද, අප කොදෙව්වේ රාජරාජමහාමාත්‍යාදීන් මෙන්ද  නොසැලී සිටියෙමි. වරක් පළමුවැනි පන්තියේ ගුරුතුමිය ආදරයෙන් මා ඈ සමීපයට කැඳවා,  මාගේ චණ්ඩිකම් නිසා අපේ අම්මාගේ ද ‘සායම’ යන බැවින් මෙතැන් පටන් හෝ විනීතව හැසිරීමට වග බලාගන්නා ලෙස මහනායක ස්වාමිපාදයන්වහන්සේ නමක මෙන් මට ගුරුහරුකම් දුන්නා මතකය. පහළ බාලාංශයේදීත්, ඉහළ බාලාංශයේදීත් මා අම්මාගේ සායම යවා ඇති බැවින් තව දුරටත් යවන්නට සායමක් නොමැති බව පවසා ඒ මොහොතේම මම ඇය නිහඬ කළෙමි. කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි බලයකින් එසමයෙහි මම මන්මත්ව සිටියෙමි.

ඒ අප දෙවැනි පන්තියට උසස් වූ කාලයයි. මෙකල මට සෙනසුරු මහ දශාව ලබා ඇති බව අම්මා, තාත්තා හා පවසනු ඇසී ගත වූයේ දින කිහිපයක් පමණි. මෙතුවක් කල් මගේ අඩත්තේට්ටම් වැර වෑයමින් ඉවසා වදාළ, පහළ බාලාංශයේ මා ප්‍රතිවාදී ක්‍රිකට් පිලේ නායකයා ඔහු හා ‘ගුටි පොරයකට’ එන ලෙස මට අභියෝග කළේ මා විස්මයට පත් කරමිනි. විවේක කාලයේදී පන්තිය පිටුපස බිත්තියත්, මහ පාරෙන් පාසල වෙන් කරන විසල් තාප්පයත් අතර පටු බිම් කඩ මධ්‍යයේ අපේ සටන ඇරඹිණි. පළමු විනාඩි කිහිපය තුළදී මා වීරයෙකු ලෙස සටන් කළත්, වසර දෙක තුනක් තිස්සේ මා නිසා විඳි පීඩාවන්ගෙන් පදම් වී සිටි ප්‍රතිවාදියා හමුවේ සටන වැඩි වේලාවක් අල්ලාගෙන සිටින්නට මට හැකි වූයේ නැත. කිරිපල්ලට වැදුණු පා පහරකින් මම ඇද වැටුණෙමි. වීරයා මැරුණු බව තුඩින් තුඩ රැව් දෙන්නට ගත වූයේ සුළු වේලාවකි. පසු දිනයේ විවේක කාලයේදීද පෙරදී මගෙන් පහර කෑ තවකෙකු මට අභියෝග කර ජයගත්තේ රැස්ව සිටි සිසුන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. ඊළඟ දිනයේ විවේක කාලයේදී වසර තුනකට පසු මා නායකත්වය දැරූ ක්‍රිකට් කණ්ඩායමට පළමුව පන්දු යැවීමට සිදු විණ.

තුන්වැනි පන්තියට ගිය අලුත, අපේ පන්ති කාමරය පාමුළ පිහිටි ගැඹුරු අගලක් තුළට ඇදගෙන වැටෙන තෙක්ද, අගල තුළ සතර පයින් සෑහෙන වේලාවක් සැතපී සිටින්නට සිදු වන තෙක්ද මට පහර දුන් තවත් සිසුවෙක් පාසලේ මගේ භීම සමය අවසන් කළේය. එයින් පසු පාඩම් වැඩ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු විනා එකිනෙකාට අභියෝග කර ගුස්ති ඇල්‍ලීමේ පුරුද්ද මම සදහටම අත් හළෙමි. 
 
දැන් අලුත් වීරයෝ බිහිව සිටිති. ඔවුන් එක්සත්ව එක්සිත්ව මට අභියෝග නොකළේ වී නම් තවමත් පාසලේ චණ්ඩියා මාය. මා නායකත්වය දැරූ විවේක කාලයේ ක්‍රිකට් කණ්ඩායමටද දැන් උදාවී ඇත්තේ නරක කල දසාවකි. ඔවුහු දැන් පන්දු යැවීමෙන් පමණක් සැනසෙති. කිරිපල්ලට වැරෙන් පහරක් එල්ල කර මා බිම හෙලූ ප්‍රතිවාදී පිලේ නායකයා දැන් ආරම්භක පිතිකරුවා මෙන්ම තරග තීරකවරයාද වී හමාරය. සිදු වී ඇත්තේ භූමිකා මාරු වීම පමණක් නොවේද?

© තිළිණ රුවන් මලලසේකර
29.12.2011
සිඩ්නි නුවරදීය.

Friday, December 23, 2011

නත්තලට මට අවැසි නුඹ පමණි


මා‍ගේ දියණියන් දෙපොළ පවසන පරිදි මේ ඔවුන්ගේ ප්‍රීතිමත්ම නත්තල් සමයයි.

මව්බිමේ ගත කළ සමයේ මහපාරේ ක්‍රිකට් පමණක් ක්‍රීඩා කර තිබූ මා, ඕස්ට්‍රේලියානු මිතුරන් සමග නොදන්නා පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙන්නට ගොස් අබ්බගාත‍යෙකු බවට පත් වූයේ මීට දෙමසකට පමණ උඩදීය. ක්‍රීඩා පිටියේ සිට ගිලන් රථයකින් රෝහල කරා රැගෙන ගොස් පැය හතරක ශල්‍යකර්මයකින් පසුව යකඩ ඇණ ගසා ප්‍රකෘතිමත් කරන ලද වම් පයක් සහිතව, විකලාංග ඒකකයේ යහන්ගත කරන ලද මාහට නිවස කරා ඒමට වරම් ලැබුණේ තවත් සතියකට පමණ කාලයකින් අනතුරුවය. ඒ කාලය පුරාවට නහවා, පිරිසුදු කොට බෙහෙත් පොවා මා රැක බලා ගත් ාරා නම් වූ ඉන්දුනීසියානු ජාතික නව යොවුන් හෙදියත්, මා වත්තම් කරගෙන කිහිලිකරු ආධාරයෙන් ඇවිදීමටත්, පඩි නැගීමට හා බැසීමටත් කියාදුන් ලාරා නම් වූ නවසීලන්ත ජාතික භෞත චිකිත්සකවරියත් හැරුණු කොට සතියක කාලය අවසන රෝහලෙන් නික්ම යද්දී, දමා යා නොහැකි වූ කිසිවක් මට එහි නොවීය. ගහමරා ගෙන හෝ, එල්ලේ, චක්ගුඩු හෝ ඇට බෝල ගසා හෝ නොව මයිකල් ජෝර්ඩන් මෙන් පැසිපන්දු ක්‍රීඩාවේ යෙදී අබ්බගාතයෙකු වූ බැවින් රෝහලේ සිටි ශ්වේත වර්ණ කාර්ය මණ්ඩලය, කාල වර්ණ මා දෙස බැලුවේත්, කතා බහ කළේත්, කිසියම් ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමකින් බව මට දැනුණි.

 මා අබ්බගාතයෙකු වීම පිළිබඳව වඩාත් සතුටු වූවෝ, මා කුඩා දියණියෝය.  නිවසේ ගත කළ කාලයෙන් වැඩිකොටස මා වැතිරී හුන් සයනය දෙපසට වී හුන් ඔවුහු, බිරිඳ විසින් නහවා පිරිසුදු කළ කල්හි පුයර, සුවඳ විලවුන් ආදිය ගල්වමින් මා හැඩ වැඩ ගැන්වූයේ බෝනික්කෙකු හා කෙළිදෙලින් කාලය ගත කරන්නාක් පරිද්දෙනි. ඇතැම් සති අන්ත මෙන්ම, සතියේ දිනවලද රෑ බෝ වන තෙක් සේවය කිරීමට සිදු වීම නිසා පසුගිය කාල වකවානුව පුරාම ඔවුනට මා හා කාලය ගත කිරීමට එතරම් අවකාශයක් නොලැබුණෙන් මෙය ඔවුනට වෙස්වලාගත් ආශිර්වාදයක්ම වූවා නිසැකය. ඔවුන්ගේ විශ්වාසය වූයේ මාගේ කකුල කඩා නිවසට ගාල් කිරීම, ඔවුන් කෙරෙහි වූ අපිරිමිත දයාවෙන් ශාන්ත නිකුලස් මුනිතුමා හෙවත් නත්තල් සීයා ඔවුනට දුන් නත්තල් ත්‍යාගයක් කියාය.

 නත්තල ළං වෙත්ම අනෙකුත් කුඩා දරුවන් මෙන්ම මා දියණියෝද තරමක් කාර්යබහුල වී ඇති සෙයකි. මා බිරිඳ පහත මාලයේ සාරා සමග ඇගේ කැබ් රථයේ නැගී, ‍වොලේශියා පළාතේ ගොවිපොළකට ගොස්  රැගෙන ආ දේවදාර ගසේ අතු ඉති සැරසිලි කිරීම හැරුණු කොට ඔවුන් සතු වැදගත්ම රාජකාරිය වූයේ හැකි ඉක්මනින් ශාන්ත නිකුලස් මුනිතුමා වෙත යැවිය යුතු, තමන් ලබන්නට කැමති නත්තල් ත්‍යාග පිළිබඳ තොරතුරු ඇතුළත් තෑගි ලැයිස්තුව පිළියෙල කිරීමය. සාමාන්‍යයෙන් ශාන්ත නිකුලස් මුනිතුමා සතුවද කුඩා දරුවන්ගේ නම් ඇතුළත් ලැයිස්තු යුගලයක් ඇති බව කිතුනුවන්ගේ විශ්වාසයයි. ඒ ‘නරක ළමුන්ගේ ලැයිස්තුව’ හා ‘යහපත් ළමුන්ගේ ලැයිස්තුව’ යනුවෙනි. නත්තලට පෙර දා පිනි මුවන් බැඳි ගැලක නැගී උත්තරාර්ධගෝලයේ සිට වාත වේගයෙන් පැමිණෙන ශාන්ත නිකුලස් මුනිතුමා, දුම් කවුළුවෙන් නිවස් තුළට වැද, සරසන ලද දේවදාර ගස පාමුළ, අලංකාර ලෙස දවටන ලද තෑගි තබා යන්නේ යහපත් ළමුන්ගේ ලැස්තුවට නම් ඇතුළත් වූවන් සඳහා පමණක් බවද ඔවුහු අදහති. ගෙවුණු වසර පුරාවටම මා දියණියන් දඩබ්බර වූ දවසක් විනිද, අප ඔවුනට එක හෙළා පැවසුවේ නත්තල් සීයා විසින් ඔවුන්ගේ නම් ‘නරක ළමුන්ගේ ලැයිස්තුවට’ ඇතුළත් කරනු ඇති බවයි. එබැවින් මේ නත්තල් සමයේ ඔවුන් තුළ කිනම් වූ කුකුසක් වේද, ඒ තම නම ‘නරක ළමුන්ගේ ලැයිස්තුවට’ ඇතුළත් වී ඇත්දැයි යන කනස්සල්ලයි.‍

 කෙසේ වෙතත් අවසානයේ අප දියණියන් දෙදෙනාගේ නම් ශාන්ත නිකුලස් මුනිතුමාගේ ‘යහපත් ළමුන්ගේ ලැයිස්තුවට’ ඇතුළත් කිරීමට මමත් බිරිඳත් තීරණය කළෙමු. ඇණ ගසා පුරුද්දන ලද වම් පය තරමක් සුව අතට හැරුණු වහාම බිරිඳගේත්, කිහිලිකරු යුගලයේත් ආධාරයෙන් රථයට ගොඩ වුණු මම ඇයත් සමග කෙළිබඩු සාප්පුවක් කරා ගමන් කළේ අප දියණියන්ට නත්තල් තෑගි තෝරා ගැනීමට ශාන්ත නිකුලස් මුනිතුමාට උදව් වනු පිණිසය. අලංකාර දවටනවල ඔතා, අප මෝටර් රථයේ බූටයේ හෙවත් ඩිකියේ සඟවා තැබූ ත්‍යාග භාණ්ඩ නත්තල් සීයා විසින් විසි හතර වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු අප නිවස කරා රැගෙන එනු ඇත. නත්තල් දා හිරු නැගෙන්නටත් පෙර අවදි වන මා දරුවෝ, නිවසේ දේවදාර ගස පාමුළ තැන්පත් කළ එකී නත්තල් තෑගි මහත් අභිරුචියෙන් වැළඳ ගනු ඇත.
x  x  x
මා කුඩා දියණියට පෙර පාසලෙන් ලැබුණු නත්තල් හිස් වැසුමක් පැලඳ බිරිඳ සමීපයට ගිය මම, ඇය විශේෂයෙන් බලාපොරොත්තු වන්නා වූ නත්තල් ත්‍යාගයක් වේදැයි විමසුවෙමි.

All I want for Christmas is you...”

 මා දෙස දඟකාර බැල්මක් හෙලා කොපුල සිපගත් ඇය, පැරණි බටහිර ගීයක පද කිහිපක් මුමුණමින් යන්නට ගියාය.

 මාගේ දරුවන්ගේ නම් යහපත් ළමුන් සේ ලැයිස්තු ගත කිරීමෙන්ද, මාගේ කකුල කඩා නිවසට ගාල් කිරීමෙන්ද,  ශාන්ත නිකුලස් මුනිතුමා මෙවර නත්තල් සමයේ අප කුටුම්භය කරා සතුට රැගෙන විත් ඇති බව නම් නිසැකය.

© තිළිණ රුවන් මලලසේකර
23.12.2011
සිඩ්නි නුවරදීය.

Saturday, December 17, 2011

ඒ දෙකම උඹ ලියපං



අප සරසවියේ ශාස්ත්‍ර හදාළ සමයේ කාව්‍ය හා ගීත යන උභය සාහිත්‍යාංග අරබයා ජාතික තලයේ කථිකාවක් පැවතුණි. සියලුම ප්‍රධාන සරසවිවල ශාස්ත්‍ර පීඨ තුළ මෙන්ම ජාතික පුවත්පත්, පොත් ප්‍රකාශන සමාගම්, පොත් සල්පිල්, සිල්ලර පොත් කඩ හා සිංහල උපකාරක පන්ති  තුළ, අප ද සම්බන්ධ වූ මේ සංවාදය ව්‍යාප්ත වූයේ සාමාන්‍ය සාහිත්‍යමය සංවාදයකට වඩා මඳක් ආක්‍රමණකාරී ස්වරූපයකිනි.

සටන ‍ආරම්භ වූයේ එතුවක් කල් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී පිරිනැමුණු වසරේ විශිෂ්ටතම ගේයපද රචනා සංග්‍රහයට හිමි සම්මානය තවදුරටත් පිරිනොනැමීමට සාහිත්‍ය අනුමණ්ඩලය තීරණය කිරීමත් සමගය. තීරණයට හේතුව ‍පුද්ගලික කෝන්තරයක් බවද එකල කියැවිණ. නිල හේතුව ලෙස ප්‍රකාශ වූයේ ගීතය, කවියේම ප්‍රශාඛාවක් හෙයින්, ගීත රචනා කෘති, කාව්‍ය රචනා කෘති යටතේම සම්මාන සඳහා සලකා බැලිය හැකි බවයි. ගීත රචකයින්, සාහිත්‍යකරුවන්, විචාරකයින්, සාහිත්‍ය අනුමණ්ඩල සාමාජිකයින්, සරසවි ඇදුරන්, මෙන්ම පුවත්පත් කලාවේදීන්ද මෙකී තීරණය පිළිබඳව කඩු අමෝරා කළ සටන අපට මහත් ආස්වාදයක් ගෙන දුන්නක් විය. ශාස්ත්‍රීය ලේඛන හා දේශනවලට පරිබාහිරව එකිනෙකාට එදිරිව වස්කවි, කැලෑ පත්තර, මඩ ප්‍රචාර පිරුණු කටකතා සේම සරඹ සංදර්ශනද මේ සංවාදය තුළ නොඅඩුවම දක්නට ලැබිණි.

සංවාදය නිම වූයේ ගේය පද රචකයින්ට ජය අත්කර දෙමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් සරසවිවල සිංහල විෂය නිර්දේශයට ගේය කාව්‍ය සාහිත්‍යය ස්වායත්ත විෂයයක් ලෙස අන්තර්ග්‍රහණය කෙරුණා සේම, ලිඛිතව සිදු කළ මරණ තර්ජන පිළිබඳව, සංවාදයේ අතැම් පාර්ශ්වකරුවන්ට එරෙහිව පොලිස් පොත්වල පැමිණිලිද සටහන් විණි.

මෙකල සරසවියේ ශාස්ත්‍ර ගවේශනයට සමගාමීව මම ‘සිළුමිණ’ පුවත්පතේ සාහිත්‍ය කලා අතිරේකයේ විශේෂාංග ලේඛකයෙකු ලෙස සේවය කළෙමි. එකල ‘සිළුමිණ’හි ප්‍රධාන කර්තෘ සුජීව දිසානායක සාහිත්‍ය ලෝලී සමාජ ක්‍රියාධරයෙකු වූ අතර, සම්මානනීය කිවිවර නන්දන වීරසිංහ හා සම්මානනීන නවකතාකරු දෙනගම සිරිවර්ධන ‍අප කර්තෘ මණ්ඩල සහෘදයෝ වූහ. මායිම් ගම්මානවල පිහිටි දුෂ්කර පාසල්වල සිසු දරු දැරියන් සඳහා සාහිත්‍ය වැඩමුළු පැවැත්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සුජීවට වුවමනා විය. වැඩසටහන සංවිධානය කිරීමේ වගකීම එකවට සිළුමිණ ආරක්ෂක වාර්තාකරු, දැනට දේශපාලන හේතූන් මත දිවයිනෙන් පිටුවහල්ව සැඟවී වෙසෙන ප්‍රසන්න ‍‍‍ෆොන්සේකාට භාරවිණි. දේශන පැවැත්වීමේ වගකීම නන්දන - දෙනගම දෙසූරීන්ටත්, තවත් ආරාධිත සාහිත්‍යකරුවන් කිහිපපොළකටත් පැවරුණි. මට නියමිතව තිබුණේ වැඩසටහන අළලා සිළුමිණට ලිපි සම්පාදනය කිරීමය.

වරක් මෙවන් එක් වැඩසටහනක ආරාධිත සාහිත්‍යකරුවාගේ භූමිකාව රඟදැක්වීමට අපි ප්‍රකට කවියෙකු මෙන්ම ගීත රචකයෙකු ද වූ දැවැන්තයෙකුට ඇරයුම් කළෙමු. ඔහු වැනි දැවැන්තයෙකු හා රථයේ සම අසුන්ගෙන, අල්ලාප සල්ලාපයේ යෙදෙමින් චාරිකාවක නිරතවීමට ලැබීම එකල මා සැලකුවේ භාග්‍යයක් ලෙසිනි.  ගමනාන්තය තෙක් එළඹගත් සිහියෙන් යුතුව සිටි සමයේ හේ මුනිව‍රයෙකු බඳු විය. මුවින් වදනක් ගිලිහුනේ කලාතුරකිනි.

ගීතය හා කාව්‍යය පිළිබඳ පෙර කී සංවාදයේදී ගේය කාව්‍ය රචනා ස්වීය සාහිත්‍යාංගයක් ලෙස පිළිගත යුතුය යන මතයේ සිටියද, සාහිත්‍යාංගයක් ලෙස මා දැඩිව ආලය කළේ පද්‍ය කාව්‍යය කෙරෙහිය. අපගේ ආරාධිත කවියා වූ කලී පද්‍ය කාව්‍යකරණයෙන් සාහිත්‍ය ලෝකයට පිවිස, පසුකාලීනව ගේය කාව්‍යකරණයට පිවිසියෙකි. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රයෙන්ම තමා විශිෂ්ට කවියෙකු බව ප්‍රකට කළ ඔහු එවකට පාසල් සමයේ අංකුර කවීන් වූ අපගේ වීරයෙක් විය. ගේය කාව්‍යකරණයට පිවිසීමත් සමග ඔහුගේ පද්‍ය කාව්‍යකරණයේ කිසියම් පසුබෑමක් ඇති වූ බව සරසවි ශිෂ්‍යයෙකු ලෙස මගේ තක්සේරුව වූ බැවින් ඒ පිළිබඳව ඔහු හා සංවාදයක යෙදීමේ දැඩි වුවමනාවකින් මම පෙළෙමින් සිටියෙමි.

සාහිත්‍ය වැඩමුළුවට පෙර දින රාත්‍රිය අප ගත කළේ සුජීවගේ හිතවත් සමාජ ක්‍රියාධරයෙකුගේ අඩක් නිම කළ නිවසේය. නින්දට පෙර පළාතේ තවත් සමාජ ක්‍රියාධරයන් හා සාහිත්‍යකාමීන් කිහිපදෙනෙකුගේ සහභාගීත්යෙන් යුතු ප්‍රිය සම්භාෂණයක් සංවිධානය කර තිබුණි. කරවල බැදුමක්, පොල් සම්බෝලයක්, තම්බන ලද විශාල මයියොක්කා බඳුනක් සහ මෙබඳු සම්භාෂණයක් සඳහා අවැසි සෙසු අනුපානයන්ගෙන් ද සපිරි කලාලයක් වටා හිඳගත් අපි ආ ගිය තොරතුරු කතා කරන්නට වීමු.

කාලය ගත වෙත්ම ආගිය තොරතුරුවලින් ඇරඹුණු සංවාදය වඩාත් ගැඹුරු මාතෘකා කරා ළඟාවෙමින් තිබුණි. අපි ගතින්ද, සිතින්ද උණුසුම්ව සිටියෙමු. අපගේ ආරාධිත කවියාගේ අතකින් අල්ලා ගත් මම ගීත රචනයට යොමු වීම නිසා කවියෙකු ලෙස ඔහු සතු වූ පෞරුෂය ගිලිහී යන ආකාරය පිළිබඳව මාගේ කනස්සල්ල පළ කර සිටියෙමි. තව දුරටත් ගීත රචනයේ නොයෙලී, ස්වකීය සියලු ශක්‍යතාවන් කාව්‍ය නිර්මාණය කෙරෙහි මුදා හරින ලෙසද මම ඔහුට දැඩිව කියා සිටියෙමි.

මගේ ඉල්ලීමෙන් හේ කිපුණේය. ගසා බසා දමා කලාලයෙන් නැගී සිටි හේ මා දෙසට තර්ජණාංගුලියක් එසවූයේය.

“මං මීට පස්සෙ කවි ලියන්නෙත් නෑ. සිංදු ලියන්නෙත් නෑ. ඒ දෙකම උඹ ලියපං.” 

මට හැඬුම් ආවේය. කීර්තිමත් කිවිවරයෙකුගේ සිත රිදවූයේය යන හැඟීමකින් මා සිත සසලව ගොස් තිබුණි. දැඩි ආයාසයක් ගත්තද කඩා හැලෙන කඳුළු කැට නවතාලිය හැකි මගක් නොවුණි. සම්මා සතියෙන් වැඩ හුන් දෙනගම සිරිවර්ධනයෝ මා පරක් කරනු රිසියෙන් පසෙකට කැඳවාගෙන ගියහ. සංවාදය නිම විණි. සභාව විසිරවිණි. සාලයේ කොනක කලාල එළාගත් අපි නින්දට සැරසුණෙමු. මොහොතකින් මා වෙත හැරුණු කිවිවරයාණෝ මා අමතා මෙසේ බිනූහ.

‘ඈ පොඩි එකෝ, උඹේ හිත රිදුනැයි. උඹ ඕව ගනං ගන්න එපා. ඕව ගැන තේරෙන්න උඹ තවම පොඩි වැඩියි.”

© තිළිණ රුවන් මලලසේකර
17.12.2011
සිඩ්නි නුවරදීය.

Tuesday, December 13, 2011

තරගයේ වීරයා



ඩග් බ්‍රේස්වෙල් පන්දුව අතට ගනිද්දී ඕස්ට්‍රේලියානුවන්ට ටෙස්ට් තරගය ජයගැනීමට තවත් රැස් කර ගත යුතුව තිබුණේ ලකුණු අසූ දෙකක් පමණි. ඒ සඳහා ඔවුහු කඩුලු අටක් අතැතිව සිටියහ. කඩුල්ලේ රැඳී සිටියේ දැනට ලොව සිටින දරුණුතම විස්සයි - විස්ස ආක්‍රමණිකයා වන ඩේවිඩ් වෝනර් සහ, අත්දැකීම් බහුල රිකී පොන්ටිංය. වසර විසි හයකින් මෙපිට ඕස්ට්‍රේලියාව තුළදී ටෙස්ට් ජයක් නොලැබ සිටි නවසීලන්තයට තවත් එක් අමිහිරි පරාජයක සුවඳ දැනෙමින් තිබුණි.
ටෙස්ට් තරගයේ රූපවාහිනී සජීව විකාශයේ අනුග්‍රාහකයා වූ ජංගම දුරකථන සමාගම තරගයේ ඊළඟට සිදුවන්නේ කුමක්දැයි තරගය අතරතුර වරින් වර කෙටි පණිවුඩ මගින් අනුමාන කිරීමට නරඹන්නන්ට අවස්ථාව සලසා දී තිබුණි. කෙටි පණිවුඩයක් යැවීමට සිත් වුවත් ඒ සඳහා වැය වන ඩොලර් ශත පනස්පහ (රුපියල් හැට තුනයි ශත අසූව) ගැන සිතා කරබාගතිමි.
ඩග් පන්දුව අතට ගැනීමට මොහොතකට පෙර විස්තර විචාරක ඉයන් හීලි කෙටි පණිවුඩ මගින් පිළිතුරු දීමට ඕස්ට්‍රේලියානු රූපවාහිනී ප්‍රේක්ෂකයන් වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය. ප්‍රශ්නය වූයේ මේ තරගය ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්නයි.
ඊළඟ මොහොතේ පොන්ටිං දැවී ගියේය. කඩුල්ලට වග කීවේ බ්‍රේස්වෙල්ය. නායක ක්ලාක් හා හසී ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කළ බ්‍රේස්වෙල් ඊළඟ පන්දු හයේදී තවත් කඩුළු දෙකකට වග කීවේය. තරගය ජයගන්නට ඕස්ට්‍රේලියානුවන්ට තවත් ලකුණු 42 ක් අවශ්‍යව තිබුණි. ඉතිරිව තිබුණේ එක් කඩුල්ලක් පමණි.
විස්තර විචාරක ඉයන් හීලි කෙටි පණිවුඩ මගින් පිළිතුරු දීමට යොමු කළ ප්‍රශ්නය හා සම්බන්ධ ප්‍රතිඵල රැගෙන ආවේය. ඕස්ට්‍රේලියාව 82%. නවසීලන්තය 18%. ප්‍රතිඵල ඇසූ විචාරක ටෝනි ග්‍රේග් කොක්හඬලා සිනාසුනේය. අවසන් කඩුල්ල වැටෙන්නට පෙර හීලි තවත් වැදගත් ප්‍රකාශයක් කළේය.
මේ තරගයේ හා සමස්ත තරගාවලියේ වීරයා කවුදැයි තීරණය කිරීමට අපි නරඹන්නන්ට භාර කරනවා. කරුණාකර ඉක්මනින් අපට කෙටි පණිවුඩ මගින් ඔබගේ තීරණය දන්වන්න.මම ගල් ගැසුණෙමි.
තරගයේ වීරයා බ්‍රේස්වෙල් මිනිහෝ. මේ හාදයා දශක දෙකහමාරකට පස්සෙ කැන්ගරු දේශයේදි නවසීලන්තයට ටෙස්ට් තරග ජයක් අත් කර දෙන්නයි යන්නේ. තමුසෙල ඒ ‍ ගෞරවය මිනිහට නොදී හොරාගෙ අම්මගෙන් පේන අහන්නද හදන්නේ?”
මම තරහෙන් මිමි‍ණුවෙමි.
බුරාගෙන පැමිණි අකුරක් මෙන් මැද ඉන්න ගැලවී යන ලෙසින් යැවූ පන්දුවකින් ඕස්ට්‍රේලියානු ඉනිම අවසන් කළ බ්‍රේස්වෙල් ජයග්‍රහණයේ නියඟය අවසන් කළේය. විස්තර විචාරකයෝ පරාජය වාවාගත නොහී, ඇටි කෙහෙල් බුදින ලද උගුඩු රැළක සේ මුවින් නොබැන සිටියහ.
පිටිය මැද පීඨිකාවට නැගුණු හීලි කෙටි පණිවුඩ මත විමසුමේ ප්‍රතිඵල නිකුත් කළේය.

ඔව් ඕස්ට්‍රේලියානුවනි, ඔබගේ වටිනා ඡන්දයෙන් අද තරගයේ වීරයා සම්මානය හිමි කරගන්නේ, කණ්ඩායම පැරදුනත් ශතකයක් ලැබූ ඩේවිඩ් වෝනර්.
පීඨිකාවට පිවිසි වෝනර් කුසලානයත් සමග ඡායාරූප ශිල්පීන්ට මුහුණ දුන්නේ සිනා සපිරි මුහුණිනි. පීඨිකාව පාමුල සිටි බ්‍රේස්වෙල් සිහිවටනයක් ලෙස සඟවාගත් තමා විසින් අවසානයට බිම හෙළන ලද මැද ඉන්න දෙස බලා සිනාසුනේය.

පසුවදන:

ඔව් මෙන්න බ්‍රේස්වෙල් දිව එනවා පන්දු යැවීමට දකුණතින් පිත්ත හසුරුවන ‍රිකී පොන්ටිංට. ඔව් පිත්ත පරයමින් පැමිණි පන්දුව පා ආවරණයේ දැවටෙනවා. ඉල්ලීමක් කරනවා. ඔහු දැවී යනවා. විනිසුරු අලීම් ඩා විසින් තීරණය කරනු ලැබුවා පොන්ටිං දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස. ඔව් මෙන්න පොන්ටිං එම තීරණය අභියෝගයට ලක් කරමින් තීරණය නරඹන්නන්ට භාර කරනවා. ඔබටත් පුළුවන් කෙටි පණිවුඩ මගින් පොන්ටිං දැවී ගියේද නැද්ද යන්න තීරණය කිරීමට. කරුණාකර ඊළඟ මිනිත්තු දෙක ඇතුළත ඔබගේ කෙටි පණිවුඩය තිරයේ දිස්වන දුරකථන අංකයට යොමු කරන්න. දැන් තරගය මඳ වේලාවකට නතර වී තිබෙන්නේ.
ඔව් මෙන්න තීරණය ලැබුණා ඡන්ද 82% 18% ලෙසින් ‍ඕ‍ස්ට්‍රේලියානු ජංගම දුරකථන හිමි තරග නරඹන්නන් විනිසුරු ඩාගේ තීරණය අවලංගු කරනවා. ඒ අනුව පොන්ටිං හට තවදුරටත් පිටියේ රැඳී සිටීමට වරම් ලැබෙනවා.
මා ගත සලිතවන සෙයක් දැනුණි. සිහි එළවා ගැනීමට මඳ වේලාවක් ගත විණි. සිඟිති දියණියගේ නිදි සුව බිඳිනු නොරිසි වූ මා බිරිඳ මෘදු ලෙස මාගේ උරයට තට්ටු කරමින් උන්නාය.

මේ රෑ මද්දහනෙ නන්දොඩවන්නෙ නැතුව නිදාගන්න. ළමය ඇහැරෙයි.

©
තිළිණ රුවන් මලලසේකර
13.12.2011
සිඩ්නි නුවරදීය.

Sunday, December 11, 2011

සාරාගේ දරු පෙම


සාරා ගැබිනියක වූයේ අප මේ මහල් නිවාස සංකීර්ණයේ පදිංචියට පැමිණි මුල් දිනවලය. නන්නාඳුනන නොරටකට පය තබා කුටුම්භ සංරක්ෂණයේ බර ඕනෑවටත් වඩා දෙවුර මත දරා සිටි හෙයින් මට අසල්වැසියන්ගේ වංහුං සෙවීමට කාලයක් නොවිණි. එහෙත් නොබෝ දිනකින්ම ඈ මා බිරිඳ හා හාද වී ඇති බව වැටහුණේ මෙතෙක් කලක් පහත මතුමහල් තලයෙන් මහද ගඳකිලි කොට අඛණ්ඩව නැගුණු දුම්වැටි සුවඳ අප මතුමහල් තලයෙන්ද දැනෙන්නට වූ බැවිණි.
මා බිරිඳගෙන් දැනහැඳින ගත් පරිදි සාරාගේ මව පෑලදිග සිඩ්නි කලාපයේ කීර්තිමත් විදුහල්පතිනියකි. සාරා වූ කලී ඇය විසින් පලවා හරිනු ලැබූ ඇගේ පළමු විවාහයේ ස්වාමියාගේ දුවණියයි. සමාගම් කළමණාකාරිනියක ලෙස සේවා සපයද්දී ඇබොරිජින් සම්භවයක් සහිත පෙදරේරුවෙකු හා හාද වුණු ඈ ඔහු හා සහවාසය පිණිස තෝරා ගත්තී අප පහත මාලයයි.
දිනක් අපි ඔවුනට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ඇරයුම් කිරීමට තීරණය කළෙමු. මව් පාර්ශ්වයෙන් ලිබරල් කිතුණුවෙකු වූ මා බිරිඳ අසල්වැසියනට ප්‍රේම කළ යුතු බවද, එසේ කළ යුත්තේ කෙසේදැයි යන්න මැනවින් දැන සිටියාය. අප මහල් නිවාස සංකීර්ණයේ සම මහලේ යාබද නිවසේ හුදෙකලාව වෙසෙන පාරම්පරික ඕස්ට්‍රේලියානුවන් වූ තරුණ ගැහැනු ළමුන් දෙදෙනාද භෝජන සංග්‍රහයට එක් කර ගැනීමට මා කළ යෝජනාව ඈ ශූර ලෙස මහහැර ගියේ එබැවිනි.
සාරා ‍හා පෝල් සමග එදින ගෙවුණේ කුතුහලය සපිරි රාත්‍රී හෝරා කිහිපයකි. මධු විත කෙරෙහි ලොබ නොබැඳි දුලබ ඔසී තරුණයෙකු වූ පෝල් සිටියේ පියෙකු වීම පිළිබඳ මඬනා ලද ආහ්ලාදයකිනි. දැඩි කංසා ලෝලියෙකු වූ තම මවගෙන් තමන්ට නොලැබුණු දරු සෙනෙහසක් මුදා හරින්නට වරමක් ලැබෙන තුරු තෙරපාගත් ගත් හදවතක් දරා සිටි ඔහුගේ එකම පැතුම වූයේ සති අන්තයේ වුලොංගොං වෙරළ තීරයේ ගල් පරයක් මතට වී ඔහු හා මාළු බෑමට පුත් රුවනක් ලැබේවා යන්නය. අව්ව වැස්ස ආදී ස්වභාව ධර්මයේ වෙනස්වීම් කරණකොට ගෙන සේවයෙන් බැහැරව සිටීමට හේතුවක් සම්පාදනය කර ගන්නා පෝල් සතියකට දිනයක් හෝ දෙකක් නෙපියන් නදියේ හෝ වුලොංගොං වෙරළ තීරයේ මාළු බෑමට යන බව සාරා අප හා පැවසුවේ නෝක්කාඩුවක ස්වරූපයකිනි. දරුවා ලැබුණු පසු ඔවුන් විවාපත් වීමට අපේක්ෂා කරන බවද, ඒ සඳහා නොවැරදීම අපට ආරාධනා කරන බවද සමුගෙන යෑමට මත්තෙන් පෝල් පුන පුනා අප හා කීවේය.
කාලය නික්ම ගියේය. මා බිරිඳ වරින් වර ඔවුන් හා සබඳතා පැවැත්වූ බව දැනගන්නට ලැබුණු මුත් මට ඒ සඳහා කාලවේලාවක් නොතිබිණි. නිවසින් බැහැරව යද්දී මුහුණට හමුවුවහොත් නගන මන්දස්මිතයකට හෝ, පහත මතුමහල් තලයෙන් නැගෙන දුම්වැටි සුවඳට හෝ පමණක් අපේ ඇසුර සීමා වී පැවතුණි.
දුම්වැටි සුවඳ හා මුසු වූ කිරි සුවඳක් සමග ඇස හැපුණු සුදු සුදු නැපි, පාතමාලයට පැටියෙකු වැඩ ඇති බව අපට ඉඟි කළේ රණවීර කිවිඳුන්ගේ කවියක් සිහිගන්වමිනි. කල් යල් බලා අපි පාතමාලයට ගොඩවැදුනෙමු. පෝල් පෙනෙන්නට නොසිටියේය. සාරා සිටියේ අලුත උපන් දරුවාට බෝතලයකින් කිරි පොවමිනි.
කෝ පෝල්
මම ඇසුවෙමි.
මං එයාට යන්න කිව්වා. එයා හිටියත් රස්සාව කරනවට වඩා කරන්නෙ මාළු බාන්න යන එකනේ. මාත් රස්සාවෙන් අස් වුණා. කසාද බැඳින්නෙ නැතුව ළමයි හම්බවෙන අම්මලට මෙහෙ ආණ්ඩුවෙන් හොඳට සලකනවා. දරුවෙක් ලැබුණම ගෙවන ඩොලර් පන්දාහට අමතරව සතියට හොඳ ගානක් හම්බවෙනවා. ගෙදර කුලියෙනුත් බාගයක් ගෙවනවා. තව තව පහසුකම් ගොඩක් ලැබෙනවා. ඒක ඉතින් දරුවටත් හොඳයිනෙ. ඉතින් මං පෝල්ට කිව්වා කසාද බඳින්න වෙන කෙනෙක් හොයාගන්න කියලා. එයා ඊයේ ගෙදරින් ගියා.”
සාරා ගණනකට නැතුවම කීවාය.
© තිළිණ රුවන් මලලසේකර
11.12.2011
සිඩ්නි නුවරදීය.