Saturday, December 17, 2011

ඒ දෙකම උඹ ලියපං



අප සරසවියේ ශාස්ත්‍ර හදාළ සමයේ කාව්‍ය හා ගීත යන උභය සාහිත්‍යාංග අරබයා ජාතික තලයේ කථිකාවක් පැවතුණි. සියලුම ප්‍රධාන සරසවිවල ශාස්ත්‍ර පීඨ තුළ මෙන්ම ජාතික පුවත්පත්, පොත් ප්‍රකාශන සමාගම්, පොත් සල්පිල්, සිල්ලර පොත් කඩ හා සිංහල උපකාරක පන්ති  තුළ, අප ද සම්බන්ධ වූ මේ සංවාදය ව්‍යාප්ත වූයේ සාමාන්‍ය සාහිත්‍යමය සංවාදයකට වඩා මඳක් ආක්‍රමණකාරී ස්වරූපයකිනි.

සටන ‍ආරම්භ වූයේ එතුවක් කල් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී පිරිනැමුණු වසරේ විශිෂ්ටතම ගේයපද රචනා සංග්‍රහයට හිමි සම්මානය තවදුරටත් පිරිනොනැමීමට සාහිත්‍ය අනුමණ්ඩලය තීරණය කිරීමත් සමගය. තීරණයට හේතුව ‍පුද්ගලික කෝන්තරයක් බවද එකල කියැවිණ. නිල හේතුව ලෙස ප්‍රකාශ වූයේ ගීතය, කවියේම ප්‍රශාඛාවක් හෙයින්, ගීත රචනා කෘති, කාව්‍ය රචනා කෘති යටතේම සම්මාන සඳහා සලකා බැලිය හැකි බවයි. ගීත රචකයින්, සාහිත්‍යකරුවන්, විචාරකයින්, සාහිත්‍ය අනුමණ්ඩල සාමාජිකයින්, සරසවි ඇදුරන්, මෙන්ම පුවත්පත් කලාවේදීන්ද මෙකී තීරණය පිළිබඳව කඩු අමෝරා කළ සටන අපට මහත් ආස්වාදයක් ගෙන දුන්නක් විය. ශාස්ත්‍රීය ලේඛන හා දේශනවලට පරිබාහිරව එකිනෙකාට එදිරිව වස්කවි, කැලෑ පත්තර, මඩ ප්‍රචාර පිරුණු කටකතා සේම සරඹ සංදර්ශනද මේ සංවාදය තුළ නොඅඩුවම දක්නට ලැබිණි.

සංවාදය නිම වූයේ ගේය පද රචකයින්ට ජය අත්කර දෙමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් සරසවිවල සිංහල විෂය නිර්දේශයට ගේය කාව්‍ය සාහිත්‍යය ස්වායත්ත විෂයයක් ලෙස අන්තර්ග්‍රහණය කෙරුණා සේම, ලිඛිතව සිදු කළ මරණ තර්ජන පිළිබඳව, සංවාදයේ අතැම් පාර්ශ්වකරුවන්ට එරෙහිව පොලිස් පොත්වල පැමිණිලිද සටහන් විණි.

මෙකල සරසවියේ ශාස්ත්‍ර ගවේශනයට සමගාමීව මම ‘සිළුමිණ’ පුවත්පතේ සාහිත්‍ය කලා අතිරේකයේ විශේෂාංග ලේඛකයෙකු ලෙස සේවය කළෙමි. එකල ‘සිළුමිණ’හි ප්‍රධාන කර්තෘ සුජීව දිසානායක සාහිත්‍ය ලෝලී සමාජ ක්‍රියාධරයෙකු වූ අතර, සම්මානනීය කිවිවර නන්දන වීරසිංහ හා සම්මානනීන නවකතාකරු දෙනගම සිරිවර්ධන ‍අප කර්තෘ මණ්ඩල සහෘදයෝ වූහ. මායිම් ගම්මානවල පිහිටි දුෂ්කර පාසල්වල සිසු දරු දැරියන් සඳහා සාහිත්‍ය වැඩමුළු පැවැත්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සුජීවට වුවමනා විය. වැඩසටහන සංවිධානය කිරීමේ වගකීම එකවට සිළුමිණ ආරක්ෂක වාර්තාකරු, දැනට දේශපාලන හේතූන් මත දිවයිනෙන් පිටුවහල්ව සැඟවී වෙසෙන ප්‍රසන්න ‍‍‍ෆොන්සේකාට භාරවිණි. දේශන පැවැත්වීමේ වගකීම නන්දන - දෙනගම දෙසූරීන්ටත්, තවත් ආරාධිත සාහිත්‍යකරුවන් කිහිපපොළකටත් පැවරුණි. මට නියමිතව තිබුණේ වැඩසටහන අළලා සිළුමිණට ලිපි සම්පාදනය කිරීමය.

වරක් මෙවන් එක් වැඩසටහනක ආරාධිත සාහිත්‍යකරුවාගේ භූමිකාව රඟදැක්වීමට අපි ප්‍රකට කවියෙකු මෙන්ම ගීත රචකයෙකු ද වූ දැවැන්තයෙකුට ඇරයුම් කළෙමු. ඔහු වැනි දැවැන්තයෙකු හා රථයේ සම අසුන්ගෙන, අල්ලාප සල්ලාපයේ යෙදෙමින් චාරිකාවක නිරතවීමට ලැබීම එකල මා සැලකුවේ භාග්‍යයක් ලෙසිනි.  ගමනාන්තය තෙක් එළඹගත් සිහියෙන් යුතුව සිටි සමයේ හේ මුනිව‍රයෙකු බඳු විය. මුවින් වදනක් ගිලිහුනේ කලාතුරකිනි.

ගීතය හා කාව්‍යය පිළිබඳ පෙර කී සංවාදයේදී ගේය කාව්‍ය රචනා ස්වීය සාහිත්‍යාංගයක් ලෙස පිළිගත යුතුය යන මතයේ සිටියද, සාහිත්‍යාංගයක් ලෙස මා දැඩිව ආලය කළේ පද්‍ය කාව්‍යය කෙරෙහිය. අපගේ ආරාධිත කවියා වූ කලී පද්‍ය කාව්‍යකරණයෙන් සාහිත්‍ය ලෝකයට පිවිස, පසුකාලීනව ගේය කාව්‍යකරණයට පිවිසියෙකි. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රයෙන්ම තමා විශිෂ්ට කවියෙකු බව ප්‍රකට කළ ඔහු එවකට පාසල් සමයේ අංකුර කවීන් වූ අපගේ වීරයෙක් විය. ගේය කාව්‍යකරණයට පිවිසීමත් සමග ඔහුගේ පද්‍ය කාව්‍යකරණයේ කිසියම් පසුබෑමක් ඇති වූ බව සරසවි ශිෂ්‍යයෙකු ලෙස මගේ තක්සේරුව වූ බැවින් ඒ පිළිබඳව ඔහු හා සංවාදයක යෙදීමේ දැඩි වුවමනාවකින් මම පෙළෙමින් සිටියෙමි.

සාහිත්‍ය වැඩමුළුවට පෙර දින රාත්‍රිය අප ගත කළේ සුජීවගේ හිතවත් සමාජ ක්‍රියාධරයෙකුගේ අඩක් නිම කළ නිවසේය. නින්දට පෙර පළාතේ තවත් සමාජ ක්‍රියාධරයන් හා සාහිත්‍යකාමීන් කිහිපදෙනෙකුගේ සහභාගීත්යෙන් යුතු ප්‍රිය සම්භාෂණයක් සංවිධානය කර තිබුණි. කරවල බැදුමක්, පොල් සම්බෝලයක්, තම්බන ලද විශාල මයියොක්කා බඳුනක් සහ මෙබඳු සම්භාෂණයක් සඳහා අවැසි සෙසු අනුපානයන්ගෙන් ද සපිරි කලාලයක් වටා හිඳගත් අපි ආ ගිය තොරතුරු කතා කරන්නට වීමු.

කාලය ගත වෙත්ම ආගිය තොරතුරුවලින් ඇරඹුණු සංවාදය වඩාත් ගැඹුරු මාතෘකා කරා ළඟාවෙමින් තිබුණි. අපි ගතින්ද, සිතින්ද උණුසුම්ව සිටියෙමු. අපගේ ආරාධිත කවියාගේ අතකින් අල්ලා ගත් මම ගීත රචනයට යොමු වීම නිසා කවියෙකු ලෙස ඔහු සතු වූ පෞරුෂය ගිලිහී යන ආකාරය පිළිබඳව මාගේ කනස්සල්ල පළ කර සිටියෙමි. තව දුරටත් ගීත රචනයේ නොයෙලී, ස්වකීය සියලු ශක්‍යතාවන් කාව්‍ය නිර්මාණය කෙරෙහි මුදා හරින ලෙසද මම ඔහුට දැඩිව කියා සිටියෙමි.

මගේ ඉල්ලීමෙන් හේ කිපුණේය. ගසා බසා දමා කලාලයෙන් නැගී සිටි හේ මා දෙසට තර්ජණාංගුලියක් එසවූයේය.

“මං මීට පස්සෙ කවි ලියන්නෙත් නෑ. සිංදු ලියන්නෙත් නෑ. ඒ දෙකම උඹ ලියපං.” 

මට හැඬුම් ආවේය. කීර්තිමත් කිවිවරයෙකුගේ සිත රිදවූයේය යන හැඟීමකින් මා සිත සසලව ගොස් තිබුණි. දැඩි ආයාසයක් ගත්තද කඩා හැලෙන කඳුළු කැට නවතාලිය හැකි මගක් නොවුණි. සම්මා සතියෙන් වැඩ හුන් දෙනගම සිරිවර්ධනයෝ මා පරක් කරනු රිසියෙන් පසෙකට කැඳවාගෙන ගියහ. සංවාදය නිම විණි. සභාව විසිරවිණි. සාලයේ කොනක කලාල එළාගත් අපි නින්දට සැරසුණෙමු. මොහොතකින් මා වෙත හැරුණු කිවිවරයාණෝ මා අමතා මෙසේ බිනූහ.

‘ඈ පොඩි එකෝ, උඹේ හිත රිදුනැයි. උඹ ඕව ගනං ගන්න එපා. ඕව ගැන තේරෙන්න උඹ තවම පොඩි වැඩියි.”

© තිළිණ රුවන් මලලසේකර
17.12.2011
සිඩ්නි නුවරදීය.

3 comments:

  1. Please write about that gunasekara gunsoma and sujeewa;s bandi dance

    ReplyDelete
  2. ඔයාගේ මතකය තුළ තවත් මේ වගේ කතා කොච්චරක් නම් තියෙනවද අයියේ.ආපහු ඒ නිර්මාණශීලි ලේඛකයා කැදවීම ගැන මං හුගාක් සතුටු වෙනවා.

    ReplyDelete
  3. සම්මානනීය ඔහු රත්න ශ්‍රී විඡේසිංහ විය යුතුමයි.. :D

    ReplyDelete