Sunday, November 1, 2015

අපේ තාත්තාටත් සම්මානයක්...

අපේ තාත්තා තුසිත මලලසේකරය. තාත්තාට සම්මානයක් ලැබුණු බව දන්වා ඊයේ මට දුරකථන ඇමතුමක් ලැබුණි. ස්වකීය ජීවිත කාලය තුළ මහජන
සෙෳඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා මානව සන්නිවේදනයේ යෙදීම වෙනුවෙන් හා සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට කළ සේවය උදෙසා තාත්තාට මේ සම්මානය ලබා දී තිබුණේ සර්වෝදයෙන් සංවිධානය කර තිබූ සම්මාන උළෙලකදීය.

විද්‍යා හා සෞඛ්‍ය සන්නිවේදන ක්ෂේත්‍රය තුළ අපේ තාත්තාගේ භූමිකාවට මේ වන විට වසර පනහකට ආසන්නය. එයිනුත් දශක තුනක පමණ කාලයක් තුළ තාත්තාගේ ලිපියක් පුවත්පතක පළ නොවූ සතියක් නොවූ තරම්ය.

සිංහලෙන් විද්‍යාව ජනප්‍රිය කරවීමට වෙර දැරූ මුල් කාලීන පරම්පරාවේ අත් හළ නොහැකි පුරුකක් ලෙස අපේ තාත්තා හැඳින්විය හැකිය.

දශක ගණනාවක් තිස්සේ දොස්තර බුද්ධදාස බෝධිනායක හා මහාචාර්ය ටියුලි ද සිල්වා සමග සුප්‍රකට 'විද්‍යා' සඟරාව සංස්කරණය කරන ලද්දේ ද අපේ තාත්තා විසිනි. දොස්තර බෝධිනායකයන් එංගලන්තයේ පදිංචියට ගිය පසුව එහි සම්පූර්ණ බර ඇද්දේ අපේ තාත්තාය.
ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ලාංඡනය ලෙස 'පංචායුධය' හඳුන්වා දුන්නේ ද අපේ තාත්තා විසිනි. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයෙන් ප්‍රකාශයට පත් කර රට පුරා නොමිළේ බෙදා හළ ''සැපත" සඟරාවේ සංස්කාරකවරයා ලෙස රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යනතෙක්ම කටයුතු කළ තාත්තා මේ වන විට ජාතික විද්‍යා පදනමේ 'විදුරාව' සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයාය.

1972 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී තාත්තා ''හොඳම විද්‍යා ලේඛකයා'' ලෙස සම්මාන දිනීය. 1975 දී තාත්තා ලියූ 'පසිඳුරන්' කෘතියට වසරේ හොඳම විද්‍යා සාහිත්‍ය කෘතියට පිරිනැමෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. පසුකාලීනව රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින් විද්‍යා සාහිත්‍යය කැපී යාම අපේ තාත්තාගේ දෝමනස්සයට හේතු විය.
1995 දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ලංකාවේ විශිෂ්ටතම ජනගහන මාධ්‍යවේදියා ලෙසින් අපේ තාත්තාව ඇගයීමට ලක් කෙරිණි.

මීට වසර කිහිපයකට පෙර වෛකල්පික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයෙන් සෞඛ්‍ය සන්නිවේදන ක්ෂේත්‍රයට කළ මෙහෙය උදෙසා තාත්තාට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමිනි. එහෙත් ඒ විශ්වවිද්‍යාලය මෙරට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පිළිගත් එකක් නොවූයෙන් තාත්තා තම නමේ මුලට 'ආචාර්ය' යැයි දැමීමට කැමති වූයේ නැත. අද අපේ රටේ ස්වකීය නමේ මුලට 'ආචාර්ය' යැයි යොදන සාහිත්‍යකරුවන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් කීපදෙනෙකුටම ඇත්තේ මේ ආචාර්ය උපාධියය. කෙසේ වෙතත් පසුගිය කාලයේ විශ්ව විද්‍යාල කොමිෂන් සභාව පිළිගත් මෙරට විශ්වවිද්‍යාල විසින් ලබා දුන් ඇතැම් සම්මාන ආචාර්ය උපාධි හා අධිවේගයෙන් දේශපාලන ලපයි - සිපයි වෙත පිරිනමන්නට ගිය අධ්‍යයන ආචාර්ය උපාධි පිළිබඳව සිතා බැලීමේදී, අපේ තාත්තාට වුවද හිරිකිතයකින් තොරව නමේ මුලට 'ආචාර්ය' යැයි දා ගත හැකිව තිබුණේ යැයි මම හඟිමි.

'මලලසේකරවරුන්ගේ' සදා අභිමානය වන අපේ ඥාති සීයාගේ 'මලලසේකර ශබ්දකෝෂයේ' පසුකාලීන සංස්කාරක මණ්ඩලවලටද අපේ තාත්තාද ඇතුළත් විණ. එපමණක් නොව අපේ තාත්තා විද්‍යා විෂයයන්ට අදාළ පාරිභාෂික ශබ්දකෝෂ කිහිපයකම සංස්කාරක මණ්ඩලවල සාමාජිකයෙක්ද විය.


කලකට පෙර ජනතා වෛද්‍ය ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා වෛද්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් අපේ තාත්තා මෙහෙය වූ රූපවාහිනී වැඩසටහන් අතිශයින් ජනප්‍රිය විය. එකල තාත්තා සමග පාරේ ගමන් කිරීම පවා කුඩා වියේ හුන් අපට මහත් හිරිහැරයක් වුයේ මග තොටේදී හමු වු සිය ගණනක් නන්නාඳුනන මිනිසුන් අපේ තාත්තාට වෛද්‍ය ගැටලු ඉදිරිපත් කරන්නට වූ නිසාවෙනි. දුරකතන නාමාවලියෙන් අංකය සොයා ගෙන අපේ ගෙදර දුරකථනය බණවා ලෙඩට දුකට පිළියම් සෙවූ ආගන්තුකයන්ගෙන්ද අපට අඩුවක් නොතිබුණි. එහෙත් අපේ තාත්තා මේ කිසිවෙකු අපේක්ෂා භංගත්වයට පත් කළේ නැත. තාත්තා නිසා ධන කුවේරයන් වූ විශේෂඥ වෛද්‍යවරු බොහෝ වෙති. එහෙත් අපේ තාත්තාට නම් ලැබුණු 'බිකක්' නැත!

තාත්තාට තිබූ ඉහළ සමාජ දේශපාලන සබඳතා පාවිච්චි කොට අවශ්‍ය නම් ඔහුට කෝටි ප්‍රකෝටිපතියෙකු වන්නට තිබුණි. එසේ නම් අපද අද ඇවිදින්නේ පොළොවට අඟල් දෙක තුනක් උඩිනි.

මා වෛද්‍යවරයෙකු වනු දැකීමට තාත්තා ආසා කළේය. එහෙත් මා ඔහුගේ අකීකරු පුත්‍රයා වූ බැවින් සාමාන්‍ය පෙළ සමත් වූ සැණින් ඔහුගේ සිහිනය සුනු විසුණු කොට දැමුවෙමි. එහෙත් අපේ මල්ලී ඔහුගේ සිහිනය සැබෑ කර දුන්නේය. මා මේ සටහන ලිව්වේ ජීවතුන් අතර සිටියදී අපේ තාත්තාව ඇගයීමට මා තුළ වූ වුවමනාව සැබෑ කර ගැනීමටත්, තාත්තාගේ මානව සන්නිවේදන ජීවිතය ඇගයීමට ලක් කළ සර්වෝදය ආයතනයට ස්තුතිය පළ කිරීමටත්, මා විසින් ඔහුට කළ අකීකරුකම්වලට පව් සමා කර ගැනීමටත්ය.

අපේ තාත්තාට නිදුක් නිරෝගී දිවියකට දීර්ඝායුෂ පතමි!

- තිළිණ රුවන් මලලසේකර

2015 නොවැම්බර් 01 දා
සිඩ්නි නුවරදීය.


No comments:

Post a Comment