ප්‍රවීණ මාධ්‍යවේදී සුජීව දිසානායක මහතා අප
අතරින් වියෝ වූ වග මේ දැන් අසන්නට ලැබුණි. වාමාංශික පුවත්පත් කලාවේදියෙකු වූ
සුජීවට 1994 දී චන්ද්‍රිකා බලයට පත්වීමටත් සමගම ලේක්හවුසියේ දොර හැරුණි. ඒ සිළුමිණ
පුවත්පතේ සම කර්තෘවරයෙක් වශයෙනි. මඳ කලකින්ම හේ සිළුමිණ කර්තෘ පුටුව දක්වා ගියද
ඔහු තුළ පැවති සරල නිහතමානී ගුණය ඒ හේතුවෙන් මඳකිනිදු අඩු නොවුණි.
සුජීව දිසානායකයන්ට මා කෘතවේදීත්වය පළ කළ යුතු
හේතු කාරණා කිහිපයක් වෙයි.
1994 දී ලේක්හවුසියට මාධ්‍යවේදීන් බඳවා ගැනීමේ තරග
විභාගයෙන් පළමුවැනියා වී පූර්ණකාලීන පුවත්පත් කලාවේදියෙක් ලෙස නවයුගය කර්තෘ
මණ්ඩලයට බැඳුණු මම ඉන් වසර එකහමාරකට පමණ පසු පූර්ණකාලීන විශ්වවිද්‍යාල අධ්‍යාපනය
වෙනුවෙන් රැකියාවෙන් ඉල්ලා අස් වුණෙමි. ඒ උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව යළිත්
සේවයේ පිහිටුවන බවට ලේක්හවුස් පාලනාධිකාරියෙන් ලද ලිඛිත සහතිකයක්ද සමගිනි. ස්වර්ණ
මුද්‍රිකාවද සමගින් සිංහල හා ජනසන්නිවේදන අංශයේ විශිෂ්ටතම ප්‍රතිඵලය ලෙස උපාධිය
සම්පුර්ණ කර ආපසු පැමිණියද එවකට පැවති පාලනාධිකාරිය මා යළිත් සේවයේ පිහිටුවීමට
කටයුතු නොකළේ මා හට දේශපාලන පසුබිමක් නොතිබුණු බැවිනි. ඒ මොහොතේ මා පිහිටට පැමිණි
සුජීව, ලේක්හවුසියේ සභාපති ලූෂන් රාජකරුණානායකට කතා කොට මා යළිත් සේවයේ පිහිටුවූවා
පමණක් නොව, ඔහු කර්තෘ ධූරය දැරූ සිළුමිණට මා බඳවා ගෙන මා හට සංස්කරණය කිරීමට
පිටුවක්ද වෙන් කර දුන්නේය.
‘මල්ලි මං ඇත්ත පත්තරේ කෑලි ගාණට වැඩ කරන කාලේ
උඹලගෙ තාත්තා මට හුඟක් උදව් කළා ලියන්න දේවල් සපයල දීල. ඉතිං මාත් උඹලගෙ තාත්ත වෙනුවෙන් මොනව හරි කරන්න
එපැයි’ යනුවෙන් පවසා ඔහු සිළුමිණ කර්තෘ මණ්ඩලයේ මට වෙන් කළ මේසය කරා මා කැඳවාගෙන
ගිය අයුරු මට අද මෙන් මතකය.
මා සිළුමිණ පුවත්පතේ සේවය කරමින් සිටින අතරතුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරකට අයදුම් කරන ලදුව එහි
සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමක් ලද්දෙන් දිනක් උදෑසන ලේක්හවුසියේ කිසිවකුටත් නොදන්වා සම්මුඛ පරීක්ෂණයට ගොස් පැමිණියෙමි. එවකට ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපකුලපති ධූරය දැරූ මහාචාර්ය ජගත් වික්‍රමසිංහ සුජීව සමග එකට වීදි සටන් කළ
වාමාංශිකයෙකු බව මම දැන නොසිටියෙමි. එක වරම සුජීව මට ඔහුගේ කර්තෘ කාමරයට එන්නැයි
කැඳවීමක් කළෙන් මම එහි ගියෙමි.
‘කොල්ලො උඹ අපිව දාල යන්න නේද හදන්නේ?‘
සුජීව මතු කළ පැනයෙන් මම අන්දුන්
කුන්දුන් වීමි.
‘මට දැන් ජගත් කතා කරල උඹ ගැන
අැහුවා. මම උඹ ගැන හොඳ රෙකමදාරුවක් දුන්නා. අන්න උඹේ ලෙක්චරර් වැඩේ හරි.’
සාමාන්‍යයෙන් පුවත්පත්
කන්තෝරුවක් තුළ පවතින අනන්ත අප්‍රමාණ කැපිලි කෙටිලි පිළිබඳ හොඳ අවබෝධයක් තිබූ
මා හට සුජීව මා කථිකාචාර්ය ධූරයකට රෙකමදාරු කර තිබීම අදහා ගත නොහැක්කක් විය.
සිළුමිණ ප්‍රාදේශීය මුද්‍රණය
නිකුත් කරන සිකුරාදා රාත්‍රියත්, නාගරික මුද්‍රණය නිකුත් කරන සෙනසුරාදා රාත්‍රියත්
සුජීව වැඩිපුරම ගත කළේ ප්‍රෙස් ක්ලබ් එකේය. එවකට ඔබ්සර්වර් කර්තෘ වූ දිවංගත
අජිත් සමරනායකත්, සිළුමිණ අාරක්ෂක වාර්තාකරු ප්‍රසන්න ෙෆාන්සේකාත්, දේශපාලන
තීරු රචක මෙන්දක අබේසේකරත්, සිළුමිණ මාධ්‍යවේදී කිවිවර නන්දන වීරසිංහත්, කාටූන්
ශිල්පී තිස්ස හේවාවිස්ස හා කාර්යාල කාර්ය සහායක ඉන්ද්‍රජිතුත්, මාත් ඔහුගේ කණ්ඩායමේ සෙසු නිත්‍ය සාමාජිකයෝ වීමු. මදිරා මතින් පමණ ඉක්මවූ දිනක ඔහු අප සැවොම (අජිත් සමරනායකයන් හැර) ඔහුගේ වොල්ක්ස්වැගන් රථයේ පටවාගෙන සිය නිවසට රැගෙන යයි. සාලයේ තැන තැන වැතිර නිදන
අපි, උදෑසන සුජීවගේ ප්‍රිය බිරිඳ උයා තබන කිරිබතින් සප්පායම් වී ඔහුගේම වොල්ක්ස්වැගන් රථයේ නැගී යළිත් වැඩට එන්නෙමු.
යුද්ධය පැවති වකවානුවේ මායිම් ගම්මාන ආශ්‍රිත පාසල් තෝරා ගෙන සිළුමිණ පුවත්පත අනුග්‍රහයෙන් සාහිත්‍ය වැඩමුළු පැවැත්වීමේ වැඩසටහනක් එකල සුජීව ආරම්භ කළේ දිවයිනේ ප්‍රකට සාහිත්‍යධරයන්ගේද සහභාගිත්වය සහිතවය. ඒ සෑම වැඩසටහනකටම ඔහු මා කැටිව ගියේය. එවන් ගමන්වලදී කළ කී දෑ මා මෙහිම වෙනත් තීරුවක ලියා ඇති හෙයින් යළි නොලියමි.
ලේක්හවුසියට අා පසු ඔහුගේ පුවත්පත් කලා භාවිතයට සීමා වැටුණත්, අාණ්ඩුවේ දූෂණ හෙළි කිරීමට ඔහු පෝද්දල
ජයන්ත, ප්‍රසන්න ෙෆාන්සේකා වැන්නවුන් නිරන්තරෙයන් දිරිමත් කළේය. ඔහු ඔවුන් ලියූ ගවේශනාත්මක ලිපි හේතුවෙන් දෙවරක්ම රහස් පොලිස්
ප්‍රශ්න කිරීම්වලටද ලක් විය. එහෙත් කිසිවිටෙකත් ඔහු ප්‍රවෘත්ති රචකයා හෝ ප්‍රවෘත්ති මූලාශ්‍රය පාවා දුන්නේ නැත. ඒ හේතුවෙන් ඔහුව අවසානයේ පාලනාධිකාරිය විසින් සිළුමිණ කර්තෘ ධූරයෙන් වෙනත් අංශයකට මාරු කර
හරින ලද්දේය.
2001 අාණ්ඩු පෙරළියත් සමග සුජීව
වැඩ තහනමට ලක් විය. ඔහු පොත් පරිවර්තන කාර්යයට අත ගැසුවේ ඉන් අනතුරුවය. වැඩ
තහනමට ලක්ව සිටි කාලයේ දිනක් මම ඔහුව බලන්නට ගියෙමි. ඔහු එ් පිළිබඳව මහත් සතුටෙන්
ප්‍රසන්න හා මෙන්දක සමග පවසා අැති බව පසුව මට දැනගන්නට ලැබුණි. පසුගිය කාලයේ ඔහු පරිවර්තන විශාල
සංඛ්‍යාවක් සිදු කළේය. එ්වා මට කියවන්නට නොලැබුණෙන් එ්වායේ ගුණ දොස් විචාරන්නට
මට අවකාශයක් නොලැබිණි.
අකාලයේ මෙළොව හැර ගිය සිය නව
යොවුන් වියේ හුන් දියණිය පිළිබඳව ඔහු එකල බොහෝ සෙයින් කම්පිතව හුන්නේය. එහි
වේදනාත්මක කැළැල් ඔහුගේ සිරුරෙහිද හදවතෙහිද නිරන්තරව රැඳී තිබුණේය.
සත් වසරකට පෙර ලංකාවෙන් නික්ම
අා පසු මට එක් වරක් හෝ ඔහු මුණ ගැසෙන්නට හෝ අඩුම තරමින් දුරකතනයෙන් ඔහු හා කතා
කරන්නට හෝ අවස්ථාව නොලැබුණි. මා බලාපොරොත්තු වූයේ ලබන වසරේ දීර්ඝ නිවාඩුවකට
ලංකාවට ගිය කල්හි ඔහු හමුවී පරණ මතකයන් අලුත් කර ගන්නටය. එහෙත් ඊට පෙර ඔහු අප
අතරින් නික්ම ගොස් ඇත්තේය.
© තිළිණ රුවන් මලලසේකර
2014 නොවැම්බර් තිස් වැනිදා
සිඩ්නි නුවර දී ය෴
No comments:
Post a Comment