Tuesday, December 13, 2011

තරගයේ වීරයා



ඩග් බ්‍රේස්වෙල් පන්දුව අතට ගනිද්දී ඕස්ට්‍රේලියානුවන්ට ටෙස්ට් තරගය ජයගැනීමට තවත් රැස් කර ගත යුතුව තිබුණේ ලකුණු අසූ දෙකක් පමණි. ඒ සඳහා ඔවුහු කඩුලු අටක් අතැතිව සිටියහ. කඩුල්ලේ රැඳී සිටියේ දැනට ලොව සිටින දරුණුතම විස්සයි - විස්ස ආක්‍රමණිකයා වන ඩේවිඩ් වෝනර් සහ, අත්දැකීම් බහුල රිකී පොන්ටිංය. වසර විසි හයකින් මෙපිට ඕස්ට්‍රේලියාව තුළදී ටෙස්ට් ජයක් නොලැබ සිටි නවසීලන්තයට තවත් එක් අමිහිරි පරාජයක සුවඳ දැනෙමින් තිබුණි.
ටෙස්ට් තරගයේ රූපවාහිනී සජීව විකාශයේ අනුග්‍රාහකයා වූ ජංගම දුරකථන සමාගම තරගයේ ඊළඟට සිදුවන්නේ කුමක්දැයි තරගය අතරතුර වරින් වර කෙටි පණිවුඩ මගින් අනුමාන කිරීමට නරඹන්නන්ට අවස්ථාව සලසා දී තිබුණි. කෙටි පණිවුඩයක් යැවීමට සිත් වුවත් ඒ සඳහා වැය වන ඩොලර් ශත පනස්පහ (රුපියල් හැට තුනයි ශත අසූව) ගැන සිතා කරබාගතිමි.
ඩග් පන්දුව අතට ගැනීමට මොහොතකට පෙර විස්තර විචාරක ඉයන් හීලි කෙටි පණිවුඩ මගින් පිළිතුරු දීමට ඕස්ට්‍රේලියානු රූපවාහිනී ප්‍රේක්ෂකයන් වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය. ප්‍රශ්නය වූයේ මේ තරගය ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්නයි.
ඊළඟ මොහොතේ පොන්ටිං දැවී ගියේය. කඩුල්ලට වග කීවේ බ්‍රේස්වෙල්ය. නායක ක්ලාක් හා හසී ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කළ බ්‍රේස්වෙල් ඊළඟ පන්දු හයේදී තවත් කඩුළු දෙකකට වග කීවේය. තරගය ජයගන්නට ඕස්ට්‍රේලියානුවන්ට තවත් ලකුණු 42 ක් අවශ්‍යව තිබුණි. ඉතිරිව තිබුණේ එක් කඩුල්ලක් පමණි.
විස්තර විචාරක ඉයන් හීලි කෙටි පණිවුඩ මගින් පිළිතුරු දීමට යොමු කළ ප්‍රශ්නය හා සම්බන්ධ ප්‍රතිඵල රැගෙන ආවේය. ඕස්ට්‍රේලියාව 82%. නවසීලන්තය 18%. ප්‍රතිඵල ඇසූ විචාරක ටෝනි ග්‍රේග් කොක්හඬලා සිනාසුනේය. අවසන් කඩුල්ල වැටෙන්නට පෙර හීලි තවත් වැදගත් ප්‍රකාශයක් කළේය.
මේ තරගයේ හා සමස්ත තරගාවලියේ වීරයා කවුදැයි තීරණය කිරීමට අපි නරඹන්නන්ට භාර කරනවා. කරුණාකර ඉක්මනින් අපට කෙටි පණිවුඩ මගින් ඔබගේ තීරණය දන්වන්න.මම ගල් ගැසුණෙමි.
තරගයේ වීරයා බ්‍රේස්වෙල් මිනිහෝ. මේ හාදයා දශක දෙකහමාරකට පස්සෙ කැන්ගරු දේශයේදි නවසීලන්තයට ටෙස්ට් තරග ජයක් අත් කර දෙන්නයි යන්නේ. තමුසෙල ඒ ‍ ගෞරවය මිනිහට නොදී හොරාගෙ අම්මගෙන් පේන අහන්නද හදන්නේ?”
මම තරහෙන් මිමි‍ණුවෙමි.
බුරාගෙන පැමිණි අකුරක් මෙන් මැද ඉන්න ගැලවී යන ලෙසින් යැවූ පන්දුවකින් ඕස්ට්‍රේලියානු ඉනිම අවසන් කළ බ්‍රේස්වෙල් ජයග්‍රහණයේ නියඟය අවසන් කළේය. විස්තර විචාරකයෝ පරාජය වාවාගත නොහී, ඇටි කෙහෙල් බුදින ලද උගුඩු රැළක සේ මුවින් නොබැන සිටියහ.
පිටිය මැද පීඨිකාවට නැගුණු හීලි කෙටි පණිවුඩ මත විමසුමේ ප්‍රතිඵල නිකුත් කළේය.

ඔව් ඕස්ට්‍රේලියානුවනි, ඔබගේ වටිනා ඡන්දයෙන් අද තරගයේ වීරයා සම්මානය හිමි කරගන්නේ, කණ්ඩායම පැරදුනත් ශතකයක් ලැබූ ඩේවිඩ් වෝනර්.
පීඨිකාවට පිවිසි වෝනර් කුසලානයත් සමග ඡායාරූප ශිල්පීන්ට මුහුණ දුන්නේ සිනා සපිරි මුහුණිනි. පීඨිකාව පාමුල සිටි බ්‍රේස්වෙල් සිහිවටනයක් ලෙස සඟවාගත් තමා විසින් අවසානයට බිම හෙළන ලද මැද ඉන්න දෙස බලා සිනාසුනේය.

පසුවදන:

ඔව් මෙන්න බ්‍රේස්වෙල් දිව එනවා පන්දු යැවීමට දකුණතින් පිත්ත හසුරුවන ‍රිකී පොන්ටිංට. ඔව් පිත්ත පරයමින් පැමිණි පන්දුව පා ආවරණයේ දැවටෙනවා. ඉල්ලීමක් කරනවා. ඔහු දැවී යනවා. විනිසුරු අලීම් ඩා විසින් තීරණය කරනු ලැබුවා පොන්ටිං දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස. ඔව් මෙන්න පොන්ටිං එම තීරණය අභියෝගයට ලක් කරමින් තීරණය නරඹන්නන්ට භාර කරනවා. ඔබටත් පුළුවන් කෙටි පණිවුඩ මගින් පොන්ටිං දැවී ගියේද නැද්ද යන්න තීරණය කිරීමට. කරුණාකර ඊළඟ මිනිත්තු දෙක ඇතුළත ඔබගේ කෙටි පණිවුඩය තිරයේ දිස්වන දුරකථන අංකයට යොමු කරන්න. දැන් තරගය මඳ වේලාවකට නතර වී තිබෙන්නේ.
ඔව් මෙන්න තීරණය ලැබුණා ඡන්ද 82% 18% ලෙසින් ‍ඕ‍ස්ට්‍රේලියානු ජංගම දුරකථන හිමි තරග නරඹන්නන් විනිසුරු ඩාගේ තීරණය අවලංගු කරනවා. ඒ අනුව පොන්ටිං හට තවදුරටත් පිටියේ රැඳී සිටීමට වරම් ලැබෙනවා.
මා ගත සලිතවන සෙයක් දැනුණි. සිහි එළවා ගැනීමට මඳ වේලාවක් ගත විණි. සිඟිති දියණියගේ නිදි සුව බිඳිනු නොරිසි වූ මා බිරිඳ මෘදු ලෙස මාගේ උරයට තට්ටු කරමින් උන්නාය.

මේ රෑ මද්දහනෙ නන්දොඩවන්නෙ නැතුව නිදාගන්න. ළමය ඇහැරෙයි.

©
තිළිණ රුවන් මලලසේකර
13.12.2011
සිඩ්නි නුවරදීය.

No comments:

Post a Comment