Sunday, November 30, 2014

සුජීවද නික්ම ගියේය!

ප්‍රවීණ මාධ්‍යවේදී සුජීව දිසානායක මහතා අප අතරින් වියෝ වූ වග මේ දැන් අසන්නට ලැබුණි. වාමාංශික පුවත්පත් කලාවේදියෙකු වූ සුජීවට 1994 දී චන්ද්‍රිකා බලයට පත්වීමටත් සමගම ලේක්හවුසියේ දොර හැරුණි. ඒ සිළුමිණ පුවත්පතේ සම කර්තෘවරයෙක් වශයෙනි. මඳ කලකින්ම හේ සිළුමිණ කර්තෘ පුටුව දක්වා ගියද ඔහු තුළ පැවති සරල නිහතමානී ගුණය ඒ හේතුවෙන් මඳකිනිදු අඩු නොවුණි.

සුජීව දිසානායකයන්ට මා කෘතවේදීත්වය පළ කළ යුතු හේතු කාරණා කිහිපයක් වෙයි. 

1994 දී ලේක්හවුසියට මාධ්‍යවේදීන් බඳවා ගැනීමේ තරග විභාගයෙන් පළමුවැනියා වී පූර්ණකාලීන පුවත්පත් කලාවේදියෙක් ලෙස නවයුගය කර්තෘ මණ්ඩලයට බැඳුණු මම ඉන් වසර එකහමාරකට පමණ පසු පූර්ණකාලීන විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් රැකියාවෙන් ඉල්ලා අස් වුණෙමි. ඒ උපාධිය සම්පූර්ණ කිරී‍මෙන් අනතුරුව යළිත් සේවයේ පිහිටුවන බවට ලේක්හවුස් පාලනාධිකාරියෙන් ලද ලිඛිත සහතිකයක්ද සමගිනි. ස්වර්ණ මුද්‍රිකාවද සමගින් සිංහල හා ජනසන්නිවේදන අංශයේ විශිෂ්ටතම ප්‍රතිඵලය ලෙස උපාධිය සම්පුර්ණ කර ආපසු පැමිණියද එවකට පැවති පාලනාධිකාරිය මා යළිත් සේවයේ පිහිටුවීමට කටයුතු නොකළේ මා හට දේශපාලන පසුබිමක් නොතිබුණු බැවිනි. ඒ මොහොතේ මා පිහිටට පැමිණි සුජීව, ලේක්හවුසියේ සභාපති ලූෂන් රාජකරුණානායකට කතා කොට මා යළිත් සේවයේ පිහිටුවූවා පමණක් නොව, ඔහු කර්තෘ ධූරය දැරූ සිළුමිණට මා බඳවා ගෙන මා හට සංස්කරණය කිරීමට පිටුවක්ද වෙන් කර දුන්නේය.

‘මල්ලි මං ඇත්ත පත්තරේ කෑලි ගාණට වැඩ කරන කාලේ උඹලගෙ තාත්තා මට හුඟක් උදව් කළා ලියන්න ‍දේවල් සපයල දීල. ඉතිං මාත් උඹලගෙ තාත්ත වෙනුවෙන් මොනව හරි කරන්න එපැයි’ යනුවෙන් පවසා ඔහු සිළුමිණ කර්තෘ මණ්ඩලයේ මට වෙන් කළ මේසය කරා මා කැඳවාගෙන ගිය අයුරු මට අද මෙන් මතකය.

මා සිළුමිණ පුවත්පතේ සේවය කරමින් සිටින අතරතුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරකට අයදුම් කරන ලදුව එහි සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමක් ලද්දෙන් දිනක් උදෑසන ලේක්හවුසියේ කිසිවකුටත් නොදන්වා සම්මුඛ පරීක්ෂණයට ගොස් පැමිණියෙමි. එවකට ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපකුලපති ධූරය දැරූ මහාචාර්ය ජගත් වික්‍රමසිංහ සුජීව සමග එකට වීදි සටන් කළ වාමාංශිකයෙකු බව මම දැන නොසිටියෙමි. එක වරම සුජීව මට ඔහුගේ කර්තෘ කාමරයට එන්නැයි කැඳවීමක් කළෙන් මම එහි ගියෙමි.

‘කොල්ලො උඹ අපිව දාල යන්න නේද හදන්නේ?‘

සුජීව මතු කළ පැනයෙන් මම අන්දුන් කුන්දුන් වීමි.

‘මට දැන් ජගත් කතා කරල උඹ ගැන අැහුවා. මම උඹ ගැන හොඳ රෙකමදාරුවක් දුන්නා. අන්න උඹේ ලෙක්චරර් වැඩේ හරි.’

සාමාන්‍යයෙන්  පුවත්පත් කන්තෝරුවක් තුළ පවතින අනන්ත අප්‍රමාණ කැපිලි කෙටිලි පිළිබඳ  හොඳ අවබෝධයක් තිබූ මා හට  සුජීව මා කථිකාචාර්ය ධූරයකට රෙකමදාරු කර තිබීම අදහා ගත නොහැක්කක් විය.

සිළුමිණ ප්‍රාදේශීය මුද්‍රණය නිකුත් කරන සිකුරාදා රාත්‍රියත්, නාගරික මුද්‍රණය නිකුත් කරන සෙනසුරාදා රාත්‍රියත් සුජීව වැඩිපුරම ගත කළේ ප්‍රෙස් ක්ලබ් එකේය. එවකට ඔබ්සර්වර් කර්තෘ වූ දිවංගත අජිත් සමරනායකත්, සිළුමිණ අාරක්ෂක වාර්තාකරු ප්‍රසන්න ‍ෙෆාන්සේකාත්, දේශපාලන තීරු රචක මෙන්දක අබේසේකරත්, සිළුමිණ මාධ්‍යවේදී කිවිවර නන්දන වීරසිංහත්, කාටූන් ශිල්පී තිස්ස හේවාවිස්ස හා කාර්යාල කාර්ය සහායක ඉන්ද්‍රජිතුත්, මාත් ඔහුගේ කණ්ඩායමේ සෙසු නිත්‍ය සාමාජිකයෝ  වීමු. මදිරා මතින් පමණ ඉක්මවූ දිනක ඔහු අප සැවොම (අජිත් සමරනායකයන් හැර) ඔහුගේ වොල්ක්ස්වැගන් රථයේ පටවාගෙන සිය නිවසට රැගෙන යයි. සාලයේ තැන තැන වැතිර නිදන අපි, උදෑසන සුජීවගේ ප්‍රිය බිරිඳ උයා තබන කිරිබතින් සප්පායම් වී ඔහුගේම වොල්ක්ස්වැගන් රථයේ නැගී යළිත් වැඩට එන්නෙමු.

යුද්ධය පැවති වකවානුවේ මායිම් ගම්මාන ආශ්‍රිත පාසල් තෝරා ගෙන සිළුමිණ පුවත්පත අනුග්‍රහයෙන් සාහිත්‍ය වැඩමුළු පැවැත්වීමේ වැඩසටහනක් එකල සුජීව ආරම්භ කළේ දිවයිනේ ප්‍රකට සාහිත්‍යධරයන්ගේද සහභාගිත්වය සහිතවය. ඒ සෑම වැඩසටහනකටම ඔහු මා කැටිව ගියේය. එවන් ගමන්වලදී කළ කී දෑ මා මෙහිම වෙනත් තීරුවක ලියා ඇති හෙයින් යළි නොලියමි.

ලේක්හවුසියට අා පසු ඔහුගේ  පුවත්පත් කලා භාවිතයට සීමා වැටුණත්, අාණ්ඩුවේ දූෂණ හෙළි කිරීමට ඔහු පෝද්දල ජයන්ත, ප්‍රසන්න ෙෆාන්සේකා වැන්නවුන් නිරන්තරෙයන් දිරිමත් කළේය. ඔහු  ඔවුන් ලියූ ගවේශනාත්මක ලිපි හේතුවෙන් දෙවරක්ම රහස් පොලිස් ප්‍රශ්න කිරීම්වලටද ලක් විය. එහෙත් කිසිවිටෙකත් ඔහු ප්‍රවෘත්ති රචකයා හෝ  ප්‍රවෘත්ති මූලාශ්‍රය පාවා දුන්නේ නැත. ඒ හේතුවෙන් ඔහුව අවසානයේ පාලනාධිකාරිය විසින් සිළුමිණ කර්තෘ ධූරයෙන් වෙනත් අංශයකට මාරු කර හරින ලද්දේය.

2001 අාණ්ඩු පෙරළියත් සමග සුජීව වැඩ තහනමට ලක් විය. ඔහු පොත් පරිවර්තන කාර්යයට අත ගැසුවේ ඉන් අනතුරුවය. වැඩ තහනමට ලක්ව සිටි කාලයේ  දිනක් මම ඔහුව බලන්නට ගියෙමි. ඔහු එ් පිළිබඳව මහත් සතුටෙන් ප්‍රසන්න හා මෙන්දක සමග පවසා අැති බව පසුව මට දැනගන්නට ලැබුණි. පසුගිය කාලයේ ඔහු පරිවර්තන විශාල සංඛ්‍යාවක් සිදු කළේය. එ්වා මට කියවන්නට නොලැබුණෙන් එ්වායේ ගුණ දොස් විචාරන්නට මට අවකාශයක් නොලැබිණි.

අකාලයේ මෙළොව හැර ගිය සිය නව යොවුන් වියේ හුන් දියණිය පිළිබඳව ඔහු එකල බොහෝ සෙයින් කම්පිතව හුන්නේය. එහි වේදනාත්මක කැළැල් ඔහුගේ සිරුරෙහිද හදවතෙහිද නිරන්තරව රැඳී තිබුණේය.

සත් වසරකට පෙර ලංකාවෙන් නික්ම අා පසු මට එක් වරක් හෝ ඔහු මුණ ගැසෙන්නට හෝ අඩුම තරමින් දුරකතනයෙන් ඔහු හා  කතා කරන්නට හෝ අවස්ථාව නොලැබුණි. මා බලාපොරොත්තු වූයේ ලබන වසරේ දීර්ඝ නිවාඩුවකට ලංකාවට ගිය කල්හි ඔහු හමුවී පරණ මතකයන් අලුත් කර ගන්නටය. එහෙත්  ඊට පෙර ඔහු අප අතරින් නික්ම ගොස් ඇත්තේය.

සුජීව ඔබ මිය පරළොව ගිය බව මම නොඅදහමි. අපට පෙර ඔබට අජිත් සමරනායකන් සමග නැවතත් දිව ඔසු පැනින් සැනහෙන්නට අාරාධනයක් ලද බව පමණක් හඟිමි!


© තිළිණ රුවන් මලලසේකර
2014 නොවැම්බර්  තිස් වැනිදා

සිඩ්නි නුවර දී ය

Thursday, November 27, 2014

පිල්, ඔබට දීර්ඝායු!

මා මේ සටහන ලියන මොහොත වන විටත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක පිලිප් හියුස් සිඩ්නි නුවර ශාන්ත වින්සන්ට් ආරෝග්‍යශාලාවේ සයනයක් මත සිහිසුන්ව ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටියි. පුරා දින දෙකක් තිස්සේ මයිකල් ක්ලාක්, ඩේවිඩ් වෝනර්, බ්‍රැඩ් හැඩින් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ශාන්ත වින්සන්ට් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දොරටුව අබියස දිවා රෑ නොතකා හියුස් පිළිබඳ සිත් සැනහෙන අන්දමේ පුවත් කණ වැකෙන තුරු කල්ගෙවන අයුරු මේ දිනවල රූපවාහිනී ප්‍රවෘත්ති සේවාවන්හි වරින් වර දර්ශනය වෙයි.

ඕස්ට්‍රේලියාවේ ෂෙෆීල්ඩ් කුසලාන පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ දකුණු ඕස්ට්‍රේලියාව හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අතර ඉකුත් අඟහරුවාදා පැවති තරගයේදී ෂෝන් ඇබට්ගේ බවුන්සර් පන්දුවක් හියුස් පැළඳ සිටි ආරක්ෂිත හිස් ආවරණය මගහරිමින් ඔහුගේ ශ්‍රවණේන්ද්‍රියට මදක් ඔබ්බෙන් හිසෙහි පසුපසට වන්නට ගැටුණේ, හේ තණතිල්ල මත සිහිසුන්ව ඇද වැටුනේය. මැෂින් තුවක්කුවකින් විසිවන මූනිස්සමක ක්‍රියාකාරීත්වයට සමාන වූ පැයකට කිලෝමීටර 135 ක වේගයකින් ඇදුණු, ඇබට් යැවූ අවුන්ස හයක් පමණ බරැති ලෙදර් පන්දුව හියුස්ගේ හිස් කබල බිඳ දමා මොළයට රුධිරය රැගෙන යන ප්‍රධාන නාලය පුපුරුවා හළෙන්, ක්ෂණයකින් ඔහුගේ හිස් කබලත් මොළයත් අතර රුධිර තටාකයක් නිමැවුණි. නිව් සවුත් වේල්ස් ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය ජෝන් ඕර්චඩ් ඔහුට තණතිල්ල මතදීම මුවට මුව තබා කෘත්‍රිම ස්වසනය ලබා දුණි. ඒ පස්වරු 2.23ටය. පස්වරු 2.29ට ඔහු හදිසි ගිලන්රථයක් විමසා දුරකථන ඇමතුමක් දුන් නමුත් එය පමා වන බව පෙනුණෙන් පස්වරු 2.37ට ගිලන් රථ සේවයට තවත් දුරකථන ඇමතුමක් දුන්නේය. පස්වරු 2.44ට පළමු ගිලන් රථයද, පස්වරු 2.50ට තවත් ගිලන් රථ දෙකක්ද, පස්වරු 3.05 ගිලනුන් ප්‍රවාහන හෙලිකොප්ටරයක්ද සිඩ්නි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයට ළඟා විණ. අවශ්‍ය ප්‍රථමාධාර හා අඛණ්ඩ කෘතිම ස්වසනය ලබා දෙමින් පස්වරු 3.30 වන විට හියුස්ව රෝහල වෙත රැගෙන විත් තිබුණි. සවස 4.15 වන විට හියුස්ගේ මොළයේ පිරී තිබුණි රුධිරය ඉවත් කිරීමේ හදිසි ශල්‍යකර්මය ඇරඹිණි. ශල්‍යකර්මය නිම වී දින දෙකක් ඉක්ම ගොස් තිබුණද හියුස් තවමත් සිටින්නේ සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙනි.

විසිපස් වියැති පිල් හියුස් හෙවත් පිලිප් ජොයෙල් හියුස් තාක්ෂණයෙන් පිරිපුන් ආරම්භක පිතිකරුවෙකි. ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය නිරහංකාර චරිතයකි. ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 25කට හා එක් දින තරග 26කට ක්‍රීඩා කර ඇති මේ හැඩකාර පිතිකරුවාට  මෑත කාලයේදී  වරින් වර කණ්ඩායමෙන් ඉවතට යන්නට සිදු වීම අවාසනාවකි. තවත් සතියකින් ඇරඹෙන ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ඔහු යළිත් කණ්ඩායමට එක් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළහ. ඒ පිටකොන්දේ හා පාදයේ ආබාධයකට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක්ට ආදේශකයක් ලෙසය. එහෙත් දැන් එය සිහිනයක්ම පමණක් වනු ඇත.

හියුස් මුහුණ පෑ මේ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ඒ වන විට පැවැත්වෙමින් තිබූ සියලුම ක්‍රිකට් තරග අත්හිටවූයේ, තමන් ක්‍රීඩා කිරීමට තරම් මානසික තත්ත්වයකින් නොසිටින බවට ඕස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන් කළ ඉල්ලීම සලකා බලාය. හියුස් සිහිසුන් කළ මිසයිල පන්දුව යැවූ ඇබට් ඇතුළු එදින තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ගේ දැඩි මානසික ආතතිය සමනය කිරීමට වහා මනෝ විද්‍යා උපදේශන සේවාවක්ද ක්‍රියාත්මක විණ. ෆේස්බුක්, ට්විටර් ඇතුළු සියලුම සමාජ ජාල වෙබ් අඩවි හියුස්ට සුවය පතමින්ද, ඇබට් ගේ මානසික ආතතිය දුරුවේවායි පතමින්ද, පළ වූ පණිවුඩවලින් පිරී ඉතිරී ගියේය. ඉකුත් දෙදින පටන් ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය සිය ප්‍රමුඛ පුවත ලෙස වාර්තා කරමින් සිටින්නේද, හියුස්ගේ රෝගී තත්ත්වයයි. මේ අතර ගිලන් රථයක් ඉල්ලා වෛද්‍ය ඕර්චඩ් දුන් පළමු දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වීමට පමා වීම පිළිබඳව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සුව ඇමතිනිය, ගිලන් රථ සේවා ප්‍රධානියාගෙන් නිදහසට කරුණු විමසීමට යන බවද දැන ගන්නට ඇත. පිල් හියුස් ඕස්ට්‍රේලියානු ජන සමාජය තුළත් ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළත් ඇති කළ කම්පනය මෙබඳුය.

හියුස් මුහුණ පෑ අනතුරත් සමග ක්‍රිකට් සංස්කෘතිය තුළ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව කතිකාවතක් ආරම්භ වී ඇති සෙයකි. උරහිසට ඉහළින් යැවෙන පන්දු නිපන්දු යැයි නම් කර නිදහස් පහරක් දිය යුතු යැයි යන්න එවැන්නකි. සියලුම වයස් කාණ්ඩවල, සියලුම මට්ටමේ ක්‍රිකට් තරග සඳහා ආරක්ෂිත හිස් ආවරණ අනිවාර්ය කළ යුතුයැයි යන්න තවත් එවැනි අදහසකි. මේ අනතුරින් පසුව නිවේදනයක් නිකුත් කළ හියුස් පැළඳ සිටි ආරක්ෂිත හිස් වැසුම නිපදවූ සමාගම කියා සිටියේ හිසෙහි සියලුම සංවේදී කොටස් ආවරණය වන පරිදි ආරක්ෂිත හිස් වැසුමක් නිපදවීම කෙරෙහි තමන් අවධානය යොමු කරන බවයි. කෙසේ වෙතත් අප පාසල් යන අවදියේ කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ ක්‍රිකට් ක්‍රීඩක මලික් අලස් මියගියේ පන්දු රකිමින් සිටියදී පන්දුවක් හිසේ වැදීමෙනි. එබැවින් බවුන්සර් පන්දු හා ආරක්ෂිත හිස්වැසුම් මතම පමණක් එල්බගෙන මෙවැනි අනතුරකට පසුවදන් සැපයීම නිෂ්ඵලය. සැබවින්ම මෙය ක්‍රිකට් පිටියේ ඉතා විරල, අවාසනාවන්ත සිදුවීමකි. විශ්ලේෂකයින්ට අනුව ක්‍රිකට් පිටියේ මෙවැනි අනතුරක් සිදුවීමේ සම්භාවිතාව මිලියන 10 කට එකකි.

එහෙත් අවාසනාවකට මෙන් මලික් අලස් මෙන්ම පිලිප් ජොයෙල් හියුස් ද ක්‍රිකට් පිටියේ සිටියේ වැරදි වේලාවේ, වැරදි අන්තයේය!

පිල් ඔබට දීර්ඝායු!

© තිළිණ රුවන් මලලසේකර
2014 නොවැම්බර් විසි හත් වැනිදා

සිඩ්නි නුවරදීය