Friday, December 23, 2011

නත්තලට මට අවැසි නුඹ පමණි


මා‍ගේ දියණියන් දෙපොළ පවසන පරිදි මේ ඔවුන්ගේ ප්‍රීතිමත්ම නත්තල් සමයයි.

මව්බිමේ ගත කළ සමයේ මහපාරේ ක්‍රිකට් පමණක් ක්‍රීඩා කර තිබූ මා, ඕස්ට්‍රේලියානු මිතුරන් සමග නොදන්නා පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙන්නට ගොස් අබ්බගාත‍යෙකු බවට පත් වූයේ මීට දෙමසකට පමණ උඩදීය. ක්‍රීඩා පිටියේ සිට ගිලන් රථයකින් රෝහල කරා රැගෙන ගොස් පැය හතරක ශල්‍යකර්මයකින් පසුව යකඩ ඇණ ගසා ප්‍රකෘතිමත් කරන ලද වම් පයක් සහිතව, විකලාංග ඒකකයේ යහන්ගත කරන ලද මාහට නිවස කරා ඒමට වරම් ලැබුණේ තවත් සතියකට පමණ කාලයකින් අනතුරුවය. ඒ කාලය පුරාවට නහවා, පිරිසුදු කොට බෙහෙත් පොවා මා රැක බලා ගත් ාරා නම් වූ ඉන්දුනීසියානු ජාතික නව යොවුන් හෙදියත්, මා වත්තම් කරගෙන කිහිලිකරු ආධාරයෙන් ඇවිදීමටත්, පඩි නැගීමට හා බැසීමටත් කියාදුන් ලාරා නම් වූ නවසීලන්ත ජාතික භෞත චිකිත්සකවරියත් හැරුණු කොට සතියක කාලය අවසන රෝහලෙන් නික්ම යද්දී, දමා යා නොහැකි වූ කිසිවක් මට එහි නොවීය. ගහමරා ගෙන හෝ, එල්ලේ, චක්ගුඩු හෝ ඇට බෝල ගසා හෝ නොව මයිකල් ජෝර්ඩන් මෙන් පැසිපන්දු ක්‍රීඩාවේ යෙදී අබ්බගාතයෙකු වූ බැවින් රෝහලේ සිටි ශ්වේත වර්ණ කාර්ය මණ්ඩලය, කාල වර්ණ මා දෙස බැලුවේත්, කතා බහ කළේත්, කිසියම් ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමකින් බව මට දැනුණි.

 මා අබ්බගාතයෙකු වීම පිළිබඳව වඩාත් සතුටු වූවෝ, මා කුඩා දියණියෝය.  නිවසේ ගත කළ කාලයෙන් වැඩිකොටස මා වැතිරී හුන් සයනය දෙපසට වී හුන් ඔවුහු, බිරිඳ විසින් නහවා පිරිසුදු කළ කල්හි පුයර, සුවඳ විලවුන් ආදිය ගල්වමින් මා හැඩ වැඩ ගැන්වූයේ බෝනික්කෙකු හා කෙළිදෙලින් කාලය ගත කරන්නාක් පරිද්දෙනි. ඇතැම් සති අන්ත මෙන්ම, සතියේ දිනවලද රෑ බෝ වන තෙක් සේවය කිරීමට සිදු වීම නිසා පසුගිය කාල වකවානුව පුරාම ඔවුනට මා හා කාලය ගත කිරීමට එතරම් අවකාශයක් නොලැබුණෙන් මෙය ඔවුනට වෙස්වලාගත් ආශිර්වාදයක්ම වූවා නිසැකය. ඔවුන්ගේ විශ්වාසය වූයේ මාගේ කකුල කඩා නිවසට ගාල් කිරීම, ඔවුන් කෙරෙහි වූ අපිරිමිත දයාවෙන් ශාන්ත නිකුලස් මුනිතුමා හෙවත් නත්තල් සීයා ඔවුනට දුන් නත්තල් ත්‍යාගයක් කියාය.

 නත්තල ළං වෙත්ම අනෙකුත් කුඩා දරුවන් මෙන්ම මා දියණියෝද තරමක් කාර්යබහුල වී ඇති සෙයකි. මා බිරිඳ පහත මාලයේ සාරා සමග ඇගේ කැබ් රථයේ නැගී, ‍වොලේශියා පළාතේ ගොවිපොළකට ගොස්  රැගෙන ආ දේවදාර ගසේ අතු ඉති සැරසිලි කිරීම හැරුණු කොට ඔවුන් සතු වැදගත්ම රාජකාරිය වූයේ හැකි ඉක්මනින් ශාන්ත නිකුලස් මුනිතුමා වෙත යැවිය යුතු, තමන් ලබන්නට කැමති නත්තල් ත්‍යාග පිළිබඳ තොරතුරු ඇතුළත් තෑගි ලැයිස්තුව පිළියෙල කිරීමය. සාමාන්‍යයෙන් ශාන්ත නිකුලස් මුනිතුමා සතුවද කුඩා දරුවන්ගේ නම් ඇතුළත් ලැයිස්තු යුගලයක් ඇති බව කිතුනුවන්ගේ විශ්වාසයයි. ඒ ‘නරක ළමුන්ගේ ලැයිස්තුව’ හා ‘යහපත් ළමුන්ගේ ලැයිස්තුව’ යනුවෙනි. නත්තලට පෙර දා පිනි මුවන් බැඳි ගැලක නැගී උත්තරාර්ධගෝලයේ සිට වාත වේගයෙන් පැමිණෙන ශාන්ත නිකුලස් මුනිතුමා, දුම් කවුළුවෙන් නිවස් තුළට වැද, සරසන ලද දේවදාර ගස පාමුළ, අලංකාර ලෙස දවටන ලද තෑගි තබා යන්නේ යහපත් ළමුන්ගේ ලැස්තුවට නම් ඇතුළත් වූවන් සඳහා පමණක් බවද ඔවුහු අදහති. ගෙවුණු වසර පුරාවටම මා දියණියන් දඩබ්බර වූ දවසක් විනිද, අප ඔවුනට එක හෙළා පැවසුවේ නත්තල් සීයා විසින් ඔවුන්ගේ නම් ‘නරක ළමුන්ගේ ලැයිස්තුවට’ ඇතුළත් කරනු ඇති බවයි. එබැවින් මේ නත්තල් සමයේ ඔවුන් තුළ කිනම් වූ කුකුසක් වේද, ඒ තම නම ‘නරක ළමුන්ගේ ලැයිස්තුවට’ ඇතුළත් වී ඇත්දැයි යන කනස්සල්ලයි.‍

 කෙසේ වෙතත් අවසානයේ අප දියණියන් දෙදෙනාගේ නම් ශාන්ත නිකුලස් මුනිතුමාගේ ‘යහපත් ළමුන්ගේ ලැයිස්තුවට’ ඇතුළත් කිරීමට මමත් බිරිඳත් තීරණය කළෙමු. ඇණ ගසා පුරුද්දන ලද වම් පය තරමක් සුව අතට හැරුණු වහාම බිරිඳගේත්, කිහිලිකරු යුගලයේත් ආධාරයෙන් රථයට ගොඩ වුණු මම ඇයත් සමග කෙළිබඩු සාප්පුවක් කරා ගමන් කළේ අප දියණියන්ට නත්තල් තෑගි තෝරා ගැනීමට ශාන්ත නිකුලස් මුනිතුමාට උදව් වනු පිණිසය. අලංකාර දවටනවල ඔතා, අප මෝටර් රථයේ බූටයේ හෙවත් ඩිකියේ සඟවා තැබූ ත්‍යාග භාණ්ඩ නත්තල් සීයා විසින් විසි හතර වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු අප නිවස කරා රැගෙන එනු ඇත. නත්තල් දා හිරු නැගෙන්නටත් පෙර අවදි වන මා දරුවෝ, නිවසේ දේවදාර ගස පාමුළ තැන්පත් කළ එකී නත්තල් තෑගි මහත් අභිරුචියෙන් වැළඳ ගනු ඇත.
x  x  x
මා කුඩා දියණියට පෙර පාසලෙන් ලැබුණු නත්තල් හිස් වැසුමක් පැලඳ බිරිඳ සමීපයට ගිය මම, ඇය විශේෂයෙන් බලාපොරොත්තු වන්නා වූ නත්තල් ත්‍යාගයක් වේදැයි විමසුවෙමි.

All I want for Christmas is you...”

 මා දෙස දඟකාර බැල්මක් හෙලා කොපුල සිපගත් ඇය, පැරණි බටහිර ගීයක පද කිහිපක් මුමුණමින් යන්නට ගියාය.

 මාගේ දරුවන්ගේ නම් යහපත් ළමුන් සේ ලැයිස්තු ගත කිරීමෙන්ද, මාගේ කකුල කඩා නිවසට ගාල් කිරීමෙන්ද,  ශාන්ත නිකුලස් මුනිතුමා මෙවර නත්තල් සමයේ අප කුටුම්භය කරා සතුට රැගෙන විත් ඇති බව නම් නිසැකය.

© තිළිණ රුවන් මලලසේකර
23.12.2011
සිඩ්නි නුවරදීය.

4 comments:

  1. කියවන්නට ආස හිතෙන විදිහට,හෙමීට ගලායන තාලෙට ලියල..
    ඔබට බිරිඳට සහ දියනියන් දෙදෙනාට සුභ නත්තලක් සහ ජය සතුට පිරි නව වසරක් පතමි

    ReplyDelete
  2. තිලිණ අයියේ,

    එකම රටක සිටියත් හිටි අඩියේම අනුරාධා අක්කාගේ මුහුණු පොත අක්‍රිය වූ දා සිට ඔබදෙදෙන ගෙන තොරතුරක් නොලද්දෙමි. දිනක අන්තර් ජාලයේ සැරිසරන විට අහඹු ලෙස ඔබේ ගිමන් හලට ගොඩ වැඳුනෙමි. දැන් එහි නිත්‍ය සාමජිකාවක්මි.
    කෙසේ හෝ නැවත ඔබ හමුවීම මෙන්ම ඔබ ගේ ලිපි යලි කියවන්නට ලැබීමද සතුටකි.
    අනුරාධා අක්කාටත් දියණියන් දෙපලටත් අප ගේ ආදරය දෙන්න.

    නෙළුම් නංගී.......

    ReplyDelete
  3. මචො අහම්ම්බෙන් තමයි උබෙ බ්ලොග් එක හමු උනෙ. මොනවද බං මෙ බැරි වැඩ කරන්න යන්නෙ අර පොඩි කාලෙ කොලා වගෙ රෑට බතට අපට කන්න කෝම්පිට්ටු ඉදීයො" කියන්නෙ නැතිව බැරි මගුල් කරන්න යනවා. පුලුවනම් මම කවුද කියලා අදුනගනින් මම fb request එකක් දාලා ඇති ලොකු ජෝන් කියලා එහීදී සෙට් වෙමු. හික් හික්ස් ..

    …ලොකු ජෝන් (80-93)

    ReplyDelete