Wednesday, January 4, 2012

පත්‍ර සමාගමය


උදෑසන අවදි වූ සැණින්, මා සතු ජංගම පරිගණකය බණවා දවසේ පුවත්පත් හා පුවත් වෙබ් අඩවි සිසාරා යෑම ‍මා නොවැරදීම සිදු කරන්නකි. ‘සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්’ හි සිට ‘එළකිරි ඩොට් කොම්’ දක්වා තහනම් කළ, නොකළ සියලු අඩවි එවිට අඟල් පහළොවේ පැතලි විද්‍යුත් තිරය ඔස්සේ මාගේ දෘශ්‍ය පථයට හසුවෙයි.

කුඩා කල පටන්ම පුවත්පත් කියවීමටත්, පුවත්පත්වලට ලිවීමටත් මා හුරු කරන ලද්දේ අපේ තාත්තා විසිනි. තමා කුඩා අවදියේදී නිවසේ සිට පාසලට ඇති සැතපුම් කිහිපය පා ගමනින් ගොස් ඉතිරි කර ගත් මුදලින් ‘ජනතා’ පත්තරය මිලදී ගත් හැටිත්, එයට කෙටිකතා ලියූ හැටිත්, එකී කෙටිකතා පුවත්පතෙහි පළ වී තිබෙනු දැක පහන් සංවේගය උපදවාගත් හැටිත් එකල තාත්තා අප හා පැවසුවේ ආස්වාදනීය අතීතාවර්ජනයක් පරිද්දෙනි. කෙතරම් ආරාධනා ලැබුණත් තමා නියැලුණු සෞඛ්‍ය සේවාවෙන් බැහැරව පූර්ණකාලීන පුවත්පත් කලාවේදියෙකු වීමට තාත්තා කැමති වූයේ නැත. එහෙත් සෑම දිනකම සේවය නිමවී නිවසට පැමිණෙන තාත්තා මධ්‍යම රාත්‍රිය වනතෙක් නිදිවර්ජිතව ලේඛනයේ නියැලයි. යළිත් පසුදින ‍අලුයම හතරට පමණ අවදිව එහිම නියැලෙයි. අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග සඳහා සූදානම් වන වකවානුවලවත් මම එතරම් නිදිවර්ජිතව වන පොත් නොකළ හෙයින් එකල තාත්තා මා දෙස බැලුවේ උපහාසයෙනි.

දැන් ලංකාදීප පත්‍රය ප්‍රකාශයට පත් කරන විජය පුවත්පත් සමාගම ආරම්භ කෙරුණේ අසූව දශකයේ මුල් භාගයේදීය. එකල ලේක්හවුසිය හැරදා විජය පුවත්පත් සමාගම ආරම්භ කිරීමට පැමිණි බොහෝ පුවත්පත් කලාවේදීන් තාත්තාගේ මිතුරන් වූ බැවින් එතැන් පටන් බොහෝ කාලයක් යනතුරු තාත්තා එහි පුවත්පත් සඳහා ලිපි ලියුවේය. මගේ පළමු පුවත්පත් ලිපිය පළ වූයේද විජය පුවත්පතේය. එකල පාසල් නිවාඩු කාලයේ තාත්තාත් සමග ගොස් විජය කර්තෘ මණ්ඩලයට වී කාලය ගත කිරීම මගේ පුරුද්දක් විය. ඒ වන විට මගේ වයස අවුරුදු පහක් පමණ වන්නට ඇත. පියල් උදය සමරවීර ‘මල් මාමා’ හා ‘කැලේ කතාව’ සිතුවම් කරන ආකාරය දෙස බලාසිටීම මහත් ආශ්වාදයක් ගෙන දෙන්නක් විය. බ්‍රෝමයිඩ් කපා අලවා පිටු සකසන ආකාරය දෙස බලා සිටීමද මා ප්‍රිය කළ තවත් අංගයකි. දිනක් විජය පුවත්පතේ පිටු සැකසීමේදී කපා ඉවත ලන රචනා එකතු කර ගත් මම, ඒවා ඉවත ලන බ්‍රිස්ටල් බෝඩ් කැබලි කිහිපයක අලවා අලුත් ළමා පුවත්පතක පිටු සැලසුම් කළෙමි. විජය පුවත්පතට අමතරව එකල ‘මිහිර’, ‘රංකැටි’, ‘සූකිරි’ ආදී නම්වලින් යුතු තවත් ළමා පුවත්පත් කිහිපයක්ම තිබූ හෙයින් මගේ පුවත්පතට ‘රටඉඳි’ යැයි නම් තැබීමට මම තීරණය කළෙමි. දහසක් වැඩ රාජකාරි මධ්‍යයේ පියල් උදය සමරවීර මාමා එහි ‘හෙඩ් පීසය’ ඇඳ දීමට තරම් කාරුණික විය. පසු දින යළිත් විජය කාර්යාලයට ගොඩවන විට එකල විජය ප්‍රධාන කර්තෘවරයා වූ අකාලයේ ඝාතනය කරන ලද කිත්සිරි සමරනායකයන් සැමටම ඇසෙන සේ ‘ඔන්න රටඉඳි කර්තෘතුමා එනවා’ යැයි පැවසූ අයුරු මට අද මෙන් මතකය.

1994 චන්ද්‍රිකා ජනපති වූ අලුත ලංකාවේ පුවත්පත් කලාවේ මහගෙදර වන ලේක්හවුසියට නව මුහුණුවරක් දුන්නේ ඒ වන විට ලේක්හවුසියෙන් ඉවත්ව ගොස් සිටි ප්‍රගතිශීලී පුවත්පත්කලාවේදීන් විශාල පිරිසකට යළි එහි දොරටු විවර කරවමිනි. මහාචාර්ය සරච්චන්ද්‍රයන් හා දැනටත් අප අතර වෙසෙන ජ්‍යේෂ්ඨතම මාධ්‍යවේදී ඩී.එ් කාරියකරවන උපදේශකවරුන් ලෙස ද, අජිත් සමරනායකයන් ‍සන්ඩේ ඔබ්සර්වර් කර්තෘ ලෙසද, නිමල් හොරණ සිළුමිණ කර්තෘ ලෙසද, සරත් කුරේ දිනමිණ කර්තෘ ලෙසද, චන්ද්‍රගුප්ත වීරවර්ධන ඡායාරූප කර්තෘ ලෙසද, තිලකරත්න කුරුවිටබණ්ඩාර සරසවිය කර්තෘ ලෙසද, පර්සි ජයමාන්න නවයුගය කර්තෘ ලෙසද අලුතෙන් පත්ව ආ අය අතර වූහ. ලේක්හවුස් සභාපති ධූරය කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු වූ ලයනල් ප්‍රනාන්දු හෙබවූ අතර කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා වූයේ ලංකාදීපයේ සිට පැමිණි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් හා යහපත් මිනිසෙක් වූ ලක්ෂ්මන් ජයවර්ධනය. දේශපාලන සබඳතා මත ආධුනික මාධ්‍යවේදීන් බඳවාගැනීමේ සම්ප්‍රදායට තිත තැබූ ලක්ෂ්මන් ජයවර්ධන, ඩී.එෆ් කාරියකරවනයන් හා එක්ව තරග විභාගයක් මගින් ආධුනික මාධ්‍යවේදීන් පහළොස් දෙනෙකු බඳවා ගැනීමට තීරණය කළ බව තාත්තා මාර්ගයෙන් දැන ගත්  මම  ඒ සඳහා අයදුම් පත්‍රයක් යොමු කළෙමි. මට මාගේ බිරිඳ පළමු වරට මුණගැසුනේ ඒ තරග විභාගයේදීය. අප දෙදෙනාම ඉන් සමත් වූ අතර මම එහි පළමුවැනියා වීමි. පසුකලෙක මගේ බිරිඳ වූ මේ යුවතිය දිනා ගැනීමට ලේක්හවුසියේ අප කිහිපදෙනෙකු අතර වූ තරගයෙන්ද,  සටනක් දී පළමුවැනියා වීමට මට හැකි විණ.

වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස මට පළමු පත්වීම ලැබුණේ නවයුගය කර්තෘ මණ්ඩලයටය. ඒ වන විට නවයුගය නියෝජ්‍ය කර්තෘ පදවිය දැරූ සමන්ත හේරත් විශ්වවිද්‍යාල කථිකාචාර්ය තනතුරක් ලැබ නික්ම ගියෙන් මඳ කලකින්ම මම උප කතුවරයෙකු දක්වා උසස් වීමක් ලැබ නවයුග‍ය පුවත්පතේ කවි පිටුවත්, කෙටිකතා පිටුවත් සංස්කරණය කිරීමේ භාග්‍යය ලදිමි. එකල ද මා රටඉඳි පුවත්පතේ කතුකම දරන කාලයේදී මෙන් පිටු සැකසුම සිදුවූයේ බ්‍රෝමයිඩ් කඩදාසියේ මුද්‍රිත ලිපි කපා පුවත්පතේ පිටුවක ප්‍රමාණයට සකස් කර ගත් ඝන කඩදාසියක ඇලවීමෙනි. සාමාන්‍යයෙන් උපකතුවරයෙකු අතින්ද, සෝදු පත් අංශයෙන්ද පරීක්ෂාවට භාජනය වන මුත් මුද්‍රණයට යැවීමට පෙර එලෙස සකසන පිටුවල අන්තර්ගතයෙහි අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ දෝස තිබේදැයි යළි පරීක්ෂා කිරීම අපගේ සිරිත විය. එවැනි දෝෂයක් හසු වුවහොත් අප කරනුයේ පසුගිය සතියේ පරණ පිටුවකින් අවශ්‍ය අකුරු කපා අලවා නණලළ හා වියරණ දෝස නිදොස් කිරීමය. ඇතැම් සතියක පුවත්පතේ පිටු විසිහතරම නැවත කියවා දෝස නිදොස් කිරීමේ වගකීම මා උර මත පැටවිණි. මෙය මහත් වෙහෙස කර කටයුත්තක් වුවත් එවකට නවයුගය කර්තෘවරයාගේත්, ප්‍රධාන උපකතුවර චන්ද්‍රසේන කිරිවත්තුඩුව හෙවත් කිරි අංකල්ගේත් කර්තෘ මණ්ඩලයේ සිටි අප සැමගේත් පරම පැතුම වූයේ සකලංගයන්ගෙන්ම පරිපූර්ණ වූ පුවත්පතක් මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීමය.

නවයුගය පුවත්පතට මා ලියූ පළමු ලිපිය පිටු දහසයක් පමණ දිගු විය. මට මතක හැටියට එය එවකට ‍ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් ලියවුණකි. ලිපිය කියවා බැලූ කතුවර ජයමාන්නයන් එහි ඇති අනවශ්‍ය යැයි හැ‍ෙඟන කොටස් කපා ලිපිය කෙටි කරන්නැයි පැවසුවේ පුවත්පතක ඇති ඉඩ හසර පිළිබඳව මට පාඩමක්ද කියා දෙමිනි. ලිපිය නැවත කියවූ මම එය පිටු දහයකට කෙටි කර නැවත ඔහු අත තැබීමි. යළිත් එය කියවූ ඔහු එහි ඇති අවශ්‍ය කොටස්ද කපා දමා සකස් කර පසුදින යළි රැගෙන එන ලෙස පැවසුවෙන් මම අන්දමන්ද වීමි. සවස නිවසට පැමිණි මම මට වූ ඇබැද්දිය තාත්තාට සැලකිරීමෙන් ඉක්බිති, අපි දෙදෙනා එකතුව එය පිටු හයකට සීමා කිරීමට සමත් වීමු. පසුදින සංස්කරණය කරන ලද ලිපිය දුටු කතුතුමා මා අමතා මෙසේ පැවසීය.

‘පත්තරයක පළ කරන්න ලියන ලිපියක අනවශ්‍ය කොටසුයි, අවශ්‍ය කොටසුයි කපල අයින් කරන්න ඕන. එතකොට තමයි අත්‍යවශ්‍ය කොටස් විතරක් ඉතුරු වෙන්නේ!’

පත්තර කෙරුවාවේදී මෙන් නොව බ්ලොග් කෙරුවාවේදී ඉඩහසර පිළිබඳව එතරම් ගැටලුවක් පැන නොනගිනමුත්, අදටත් යමක් ලියන වාරයක් වාරයක් පාසා කතුවර ජයමාන්නයන්ගේ එවදන් මා දෙසවන රාව ප්‍රතිරාව නංවයි.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වූ විට මා දොස්තරවරයෙකු හෝ ඉංජිනේරුවරයෙකු වනු දැකීම අපේ තාත්තාගේ පැතුම විය. කලා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට මා තුළ වූ අභිලාෂය‍ට අකමැත්තෙන් හෝ අවසර දීමට තාත්තා ගත් තීරණය පිළිබඳව එකල මා තුළ වූයේ නිම්හිම් නැති සතුටක් වුවද, ඒ පිළිබඳව අද මට ඇත්තේ කිසියම් වූ උකටලී හැඟීමකි. කෙසේ වෙතදු මා පුවත්පත්කලාවේදියෙකු වීම පිළිබඳව තාත්තා අසතුටට පත් ව සිටි බවක් එවක මට නොහැඟුණි. සරසවි වරම් ලැබ පූර්ණකාලීන පත්‍රකලා ජීවිතයට ආයුබෝවන් කී‍ කල්හිද, සරසවියේ ශාස්ත්‍ර ගවේශනයෙන් ඉක්බිති යළිදු පුවත්පත් කලාවේදියෙකු ලෙස වෘත්තීය ජීවිතය අරඹන ලද කල්හිද, විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධූරයක් ලැබ පත්‍රකලා ජීවිතයට නැවතත් සමුදුන් කල්හිද, එකී උභය වෘත්තීන්ගෙන්ම සමුගෙන විදෙස් ගත වීමට තීරණය කල කල්හිද, කිසිවිටෙකත් මා තරම් අවදානම් දරන්නෙක් නොවන තාත්තා මුනිවරයෙකු සේ නිහඬව සිටියේය.

කුඩා කල පටන් මා දක්ෂතා දැක්වූ ක්ෂේත්‍රයක නොරැඳීම පිළිබඳ කම්පාවක් පමණක් අද ඔහු තුළ තිබෙන බව මම හඟිමි.

© තිළිණ රුවන් මලලසේකර
04.01.2012
සිඩ්නි නුවරදීය.

5 comments:

  1. එක හුස්මට කියෙව්වා. ඔබේ සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායැයි පතනවා. පත්තරකාරයෙක් වූ මටත් මෙය නියම ආදර්ශයක්. මෙය ලීවාට ඔබට ස්තූතියි !

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. I see your face while reading this machan.

    i still remember your first few months in 11B (Maths stream) at Nalanda. We seated on the back row, as usual, and you had the habbit of writng poems (Kavi) for each new scientific concept. Once the class teacher opened my book, and my back page was full with your poems and "Ko maa pathu obe adare' song. These are some good memories.

    By the way, I beleive you made the right move to pursue arts subjects. However, I do not know whether you utlized your talents after that radical move. I am sure you will see the right door of your life very soon. You were born to write and it is your talent.

    Kasun

    ReplyDelete
  4. කුඩා කල පටන් මා දක්ෂතා දැක්වූ ක්ෂේත්‍රයක නොරැඳීම පිළිබඳ කම්පාවක් පමණක් අද ඔහු තුළ තිබෙන බව මම හඟිමි.
    That's correct. He is always telling that with us. But don't give up the writing. You are a still well known writer among us......

    ReplyDelete
  5. තිළිණ , මට තාම මතකෙට එනව චන්දනට ලියපු කවි , නිසදැස්

    ReplyDelete